නෙතන්යාහු පරදී / ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට්

ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අගමැති ධූරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහුට එම ධුරය අහිමි වී තිබෙනවා.
ඒ විපක්ෂ සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සහිතව නව රජයක් පිහිටුවීම සමගයි.
විපක්ෂයේ සුළුතර දක්ෂිණාංශික කණ්ඩායම් නායකයකු වන නෆ්තාලි බෙනට් මේ සමග ඊශ්‍රායලයේ අගමැතිවරයා බවට පත්වනවා.
ඔහු වාමාංශික හා සුළුතර දේශපාලන කණ්ඩායම් 8ක් සමග එක්වයි මෙම රජය පිහිටුවා ඇත්තේ.
අගමැති ධූරයේ කාලයෙන් වසර 2ක් නෆ්තාලි බෙනට් ධුරය දරන අතර ඉතිරි වසර දෙක මෙතෙක් ප්‍රධාන විපක්ෂනායක ධූරය දැරූ යෙෂ් අටිඩ් පක්ෂ නායකයාට ලබාදීමට නියමිතයි.
නව අගමැති නෆ්තාලි බෙනට් තාක්ෂණික ව්‍යාපාර මගින් ප්‍රකෝටිපතියකු බවට පත්ව පසුව දේශපාලනයට එක්වී තිබුණා.
ඔහු බෙන්ජමින් නෙතන්යාහු රජයේ ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.
ත්‍රස්තවාදයට එරෙහිව දැඩි මතයක නිරත ඔහු හමාස් සාමාජිකයන් ඝාතනය කළ යුතු බවට දැඩි ස්ථාවරයක පසුවනවා.
මේ අතර ධූරය අහිමිවූ බෙන්ජමින් නෙතන්යාහු මෙතෙක් ඊශ්‍රායලයේ වැඩිම කලක් අගමැති ධූරය දරන ලද තැනැත්තායි.
විපක්ෂනායක ධූරයේ රැදෙමින් නව රජය පලවා හැර ඊශ්‍රායලයට යළිත් නායකත්වය ලබාදෙන බවයි ඔහු තම පරාජයෙන් පසු සදහන් කළේ.
මේ අතර පලස්තීනය පවසන්නේ ඊශ්‍රායලයේ නායකත්වය වෙනස්වුවද ඉන් තමන්ට අත්වන සෙතක් නොමැති බවයි.මේ අතර ඊශ්‍රායලයේ නව අගමැතිවරයාට අමෙරිකානු ජනපතිවරයා ද සුබ පැතුම් පල කර තිබෙනවා.

පුවත යවන්න