දිවා කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවුණත් පස්වරු 2.30 න් පසුව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන ප්‍රධාන ඉංජිනේරුවරයා පවසනවා.
එහෙත් විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අප කළ විමසීමක දී ප්‍රකාශ කළේ, කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
ඩොලර් ලබාදීමත් සමගම ඊයේ දිනයේදී නැව් දෙකකින් තෙල් ගොඩබෑම සිදු කෙරුණා. එයින් තෙල් මෙට්‍රික් ටොන් දස දහසක් විදුලිබල මණ්ඩලයට ලබාදීමට එම අවස්ථාවේදීම කටයුතු කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළා. එහෙත් ඊයේ පස්වරුවේ සිටම කොට්ඨාස මට්ටමින් විවිධ පළාත්වල විදුලි කප්පාදු කිරීම් වාර්තා වුණා. පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය කියා සිටියේ ඊයේ දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුවන බවයි. අද දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු පද්ධති පාලන එරංග කුඩාහේවා මහතා කියා සිටියේ දිවා කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවුනත් පස්වරු 2.30 න් පසු යම් කාල සීමාවකට විදුලි කප්පාදුවක් සිදුවන බවයි.