පුහුණු තරගයේදී කාන්තා පිලට ලකුණු 200 ක දැවැන්ත ජයක්

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව ලකුණු 200 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් වාර්තා කොට තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට (නොවැම්බර් 19 වැනිදා) සමත්විය.

සිම්බාබ්වේහි පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 326 ක් රැස් කර ගැනීමට සමත්විය. එම ඉලක්කය හඹා ගිය ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 46 කදී ලකුණු 126 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකාරිණියන් කීප දෙනෙකුම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී වැඩිම ලකුණු ලාභිණිය බවට නිලක්ෂි සිල්වා පත්වූවාය. නොදැවී ලකුණු 77 ක් රැස් කළ නිලක්ෂි පන්දු යැවීමේදීද එක් ලකුණකට කඩුලු 4 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වූවාය.

ඇයට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම අර්ධ ශතක රැස් කරන ලද්දේ උප නායිකා හර්ෂිතා සමරවික්‍රම වන අතර ඇය නොදැවී ලකුණු 54 ක් ලබා සිටියදී ඉනිම හමාර කොට සෙසු ක්‍රීඩිකාවන්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නාය.

ලකුණු සාරාංශය –

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 326 යි (නිලක්ෂි සිල්වා 77*, හර්ෂිතා සමරවික්‍රම 54*, චමරි අතපත්තු 41, අමා කාංචනා 39*, ඉමේෂා දුලානි 31, හසිනි පෙරේරා 28, කවීෂා දිල්හාරි 20)

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 46 කදී ලකුණු 126 යි (ලිසා රම්ජිත් 68, ඉනෝකා රණවීර 26/3, සචිනි නිසංසලා 11/2, නිලක්ෂි ස්ලිවා 01/4, අචිනි කුලසූරිය 23/1)

පුවත යවන්න