පෙබරවාරි 15 ට පෙර බස්නාහිර පාසල් විවෘත කිරීමට අවධානය

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා‌ මේ බව පැවසූයේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක අද (29) දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

විශාල උනන්දුවක් සහ කැපවීමක් සහිතව ඉතා ක්‍රමානුකූල ව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින්, දෙමව්පියන් සමග ද සම්බන්ධීකරණය පවත්වාගනිමින් ඉතා සැලකිලිමත් ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පල කළා.

එමෙන් ම දරුවන් සමඟ දිනපතා ගැටෙන පිරිසක් ලෙස කොවිඩ් එන්නත ලබාදීමේ දී අපේ ගුරු පරපුරට ප්‍රමුඛතාවක් ලබාදීම ඉතා සාධාරණ කරුණක් බව ද ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ද පැවසුවා.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,.
“කොවිඩ් 19 වසංගතය නිසා වසා දැමුණු පාසල් බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල විවෘත වුණ නමුත් පවතින දැඩි අවදානම් තත්ත්වය මත මේ පළාතේ දිස්ත්‍රික්ක තුනේ පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණේ නැහැ. නමුත් අවදානම් තත්ත්වය මත දරුවන්ගේ අනාගතය ම අඳුරු කරන්නට අපට බැහැ. වගකිවයුතු රජයක් ලෙස එම වගකීමෙන් මිදෙන්න අපි සූදානම් නැති නිසා ම සියලු අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළා. සෙසු ප්‍රදේශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අභියෝග ජය ගනිමින් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපිට ශක්තියක් තිබුණා”.

මේ අතර බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ඒ ඒ පාසල්වලට බලය පවරා ඇති බව ද, චක්‍රලේඛවල ගැටලු වෙතොත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දීමටත් අවස්ථාව ලබා දී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ඒ නිසා ම පෙබරවාරි 15වන දිනට පෙර පාසල් ආරම්භ කිරීමට හැකි පාසල් මොනවාද යන්න මේ වනවිට සොයාබලමින් සිටින බවත් පැවසුවා.

සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ඒ පාසල්වලට අවශ්‍ය පහසුකම්, මූල්‍ය ප්‍රතිපාදන ආදිය ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.

බස්නාහිර පළාතේ පෙරපාසල් ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවත්, කුඩා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සමාජ දූරස්ථභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ කරුණ ප්‍රායෝගිකව ගැටඵකාරී තත්වයක් වන නමුත් පෙරපාසල් වසා තිබීම ද දරුවන්ට, දෙමාපියන්ට මෙන් ම පෙරපාසල් ගුරුවරුන්ට ගැටඵවක් වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පුවත යවන්න