රැදවියන්ට තර්ජනය කිරීමේ සිද්ධියේ විමර්ශන ප්‍රගතිය දෙන්නැයි පොලිස්පතිට නියෝග

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ රැඳවියන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (15) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණි.

එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබුණි.

අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා දැනටමත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙන අතර මෙම නඩුවට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

පෙත්සම අද කැඳවු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමක් සිදු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල අදාළ විමර්ශනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

අනතුරුව පෙත්සම අගෝස්තු මස 09 වනදා යළි විභාගය සඳහා කැඳවීමට නියම කෙරුණි.

පුවත යවන්න