මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය මැයි මස අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.
ඒ, මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
End of Twitter post, 1
එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද?
අරගලයට සහය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ නේවාසික වීසා සහිතව වෛද්‍ය හේතුන් මත මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණියක වන කිලී ෆීසර්ගේ විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන පියුමි බණ්ඩාර පැවසුවේ වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇගේ ගමන් බලපත්‍රය තම විමර්ශන ඒකකය භාරයට ගත් බවයි.
ඒ අනුව දින හතක් ඇතුළත අගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැණුම් දී තිබේ.
“වීසා එකක් දෙන්නේ ඒ කොන්දේසි මත වැඩ කරන්න පමණයි. ඒ කොන්දේසි උල්ලංඝණය කරන්න බැහැනේ” ඇය සඳහන් කළාය.
කිලී ෆීසර් ගෝල්ෆේස් අරගල පිළිබදව වීඩියෝ සහ ඡායාරූප සිය Instagram ගිණුම ඔස්සේ පළකර තිබුණි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විමර්ශන වලින් අනතුරුව මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවයි.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කිලී ෆීසර් නවාතැන්ගෙන සිටින නිවහන වෙත ගොස් විමර්ශන කරන අයුරුද ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි.
එහිදී ඇය ප්‍රශ්නකර සිටියේ මෙරට ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ විරෝධතාවයන් ගැන සමාජ මාධ්‍ය හරහා කතාකිරීම වරදක්ද යනුවෙනි.
අරගලකරුවන් දඩයමක්ද?
ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පළවා හැරීම සඳහා පසුගිය මාර්තු මස අග ආරම්භ වූ උද්ඝෝෂණ හා ගාලුමුවදොර ජන අරගලයට සහභාගි වූ උද්ඝෝෂකයින් මේවන විට දිනෙන් දින පොලිස් අත්අඩංගුවට පත්වෙමින් ඇත.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනරාත්න නොහොත් “රැට්ටා” ද පසුගිය ද පොලිස් අත්අඩංගුවට පත්වු අතර කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිණ.
තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ද පොලිස් අත්අඩංගුවට පත්වු අතර ඔහු හෙට (අගෝස්තු 04 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මේ අතර තවත් ක්‍රියාකාරිකයෙක් වන වේරංග පුෂ්පික සිල්වා ද පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැණුනි.
අරගලයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය, කොටුව හා කොල්ලුපිටිය පොලිස් ස්ථානවල මැදිහත් වීමෙන් එම විමර්ශන ක්‍රියාත්මක වෙයි.
කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුලු වූ පුද්ගලයින් රැසක්ද මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 09 වැනිදා ජනාධිපති මන්දිරයට ඇතුලූ වී ජනාධිපතිවරයා අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් 28 හැවිරිදි තරුණයෙකුද අගොස්තු 02 වැනිද පොලිස් අත්අඩංගුවට පත්විය.
ඔහු දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජනාධිපතිවරයාගේ ධජය අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන උදේණි කළුතන්ත්රිද පොලිස් අත්අඩංගුවට පත්විය.
ඔහු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අරගලකරුවන් වෙනුවෙන් විශේෂ කාර්යංශයක්
සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගොස්තු 03) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.
“මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා.” ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා. නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා.” ඔහු පැවසීය.
“නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි.” ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අද අවධාරණය කළේය.
“මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා.”
මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට තමා වග බලා ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
විරෝධතාකරුවන් මර්දනය ගැන ‘හියුමන් රයිට් වොච්’ දැඩි අවධානය
දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් අද ප්‍රකාශ කළේය.
2022 ජූලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට, විරෝධතාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර ඇතැයි එම සංවිධානය පවසයි.
හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, ජූලි 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ විරෝධතාකරුවන් විසුරුවා හරින ලෙසත් කොළඹ නගරයේ ඔවුන්ගේ අරගල භූමිය බිඳ දමන ලෙසත් ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි. පොලිසිය පසුව විරෝධතා නායකයින් ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම කර ඇති බවයි.
“සාමකාමී විරෝධතාවන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මර්දනය කිරීම, රටේ හදිසි ආර්ථික අර්බුදය විසඳීමේ අවශ්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට වැරදි සහ නීති විරෝධී උත්සාහයක් බව පෙනේ” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසීය.
“ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා මානව අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතුය.” ඇය අවධාරණය කළාය.
ජුලි 22 අලුයම ආරක්ෂක අංශ කොළඹ ප්‍රධාන ජනතා අරගල භූමියට කඩා වැදීමෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
වැටලීමේදී Xposure News හි මාධ්‍යවේදීන් තිදෙනෙකු වන චතුරංග ප්‍රදීප් කුමාර, රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් සහ අවම වශයෙන් තවත් එක් මාධ්‍යවේදියෙකු වන BBC හි ජරීන් සැමුවෙල්ට ආරක්ෂක හමුදා පහර දුන් බව හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු කිතුනු පූජකවරු පිරිසක් විරෝධතාවලට එක්ව සිටියහ. එම විරෝධතාවයේ ප්රමුඛයෙකු වූ කතෝලික පූජකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු තවත් කිහිප දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජූලි 25 වැනි දින විදෙස් ගමන් තහනමක් පැනවූ බව මාධ්‍ය වාර්තා කළේය.
දින දෙකකට පසු පොලිසිය පීරිස් පියතුමාගේ දේවස්ථානයට ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝගක් ඇති බව ප්‍රකාශකර ඇති බව හියුමන් රයිට් වොච් අනාවරණය කළේය.
ජුලි 26 වෙනිදා බලධාරීන් විසින් තවත් ප්රමුඛ පෙළේ විරෝධතාකරුවෙකු වූ ධනිෂ් අලි කොළඹින් පිටත් වීමට සූදානම් වූ ජාත්‍යන්තර ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගත් බවත් හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙයි.
හදිසි නීති විධිවිධාන වහාම අවලංගු කළ යුතුයි.
ජනාධිපති වික්‍රමසිංහ ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය යටතේ පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ගෙන ඒමට පෙර රඳවා තබා ගත හැකි කාලය පැය 24 සිට 72 දක්වා වැඩි කර තිබේ.
බලධාරීන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ අතිරේක බලතල ලබා දී ඇති අතර, මිනිසුන් රඳවා තබා ගැනීම හෙළි නොකර දිනක් දක්වා රඳවා තබා ගැනීමට මේ අනුව හමුදාවට බලය ලැබේ.
මෙම විධිවිධාන වධහිංසා පැමිණවීමේ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අවදානම වැඩි කරන බව හියුමන් රයිට් වොච් සංවිධානය අවධාරණය කළේය.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ, හදිසි අවස්ථාවකදී ඇතුළුව, වධහිංසාවට එරෙහි ආරක්ෂාව, අධික ලෙස බලය යෙදවීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් කිසිවිටෙක උල්ලංඝණය නොකළ යුතුය.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනි හදිසි නීතියේ විධිවිධාන වහාම අවලංගු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් අවධාරණය කරයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ හදිසි නීතිය මඟින් ජනාධිපතිවරයාට සහ පොලිසියට මහජන රැස්වීම් තහනම් කිරීමට පුළුල් බලතල ලබා දෙන බවයි.