බැංකු සහ මූල්‍ය සමාගම්වල ලාභදායීත්වය පහත වැටෙයි

මෙරට තුළ පවත්වාගෙන යන බැංකු සහ මූල්‍ය සමාගම්වල ලාභදායීත්වය හරි අඩකට වඩා බිඳ වැටී ඇති බව ඒ ඒ මූල්‍ය සමාගම් සහ බැංකුවල ගිණුම් ප්‍රකාශවලින් පොදුවේ අනාවරණය වේ.

අද (31) දිනමිණ පුවත්පතේ මූල්‍ය සමාගම් දෙකක සහ බැංකු මෙන්ම එම බැංකුවලට අනුබද්ධ සමූහ ව්‍යාපාර තුනක ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙන්ම පබ්ලික් බෑංක් බර්හඩ් ශ්‍රී ලංකා ශාඛාවේ අර්ඩ වාර්ෂික ගිණුම් ප්‍රකාශට පත්කර තිබේ. එම ගිණුම් අනුව පසුගිය 2021 වර්ෂයේ බදු ගෙවීමට පෙර ලාභයෙන් හරි අඩකට වඩා මෙම වර්ෂයේදී එම ලාභය කඩා වැටී තිබේ.

එම්බීඑස්එල් ෆිනෑන්ස් (MBSL Finance) සමාගමේ පසුගිය වසරේ අර්ධ වාර්ෂික ලාභය රුපියිල් මිලියන 140ක් වී තිබී මෙම වසරේ එය රුපියල් මිලියන 384ක අලාභයක් බවට පරිවර්තනය වී ඇත. ඊට අමතරව සීබීසී ෆිනෑන්ස් (CBC Finance) සමාගමේ පසුගිය වසරේ අර්ධ වාර්ෂික ලාභය රුපියල් මිලියන 30.5ක් සිට මෙම වසරේදි රුපියල් මිලියන 61.9 දක්වා වැඩි වී ඇත.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 2021 මුල් 6 මාසය තුළ රුපියල් මිලියන 343ක අලාභයක් තිබූ අතර මෙම වසරේදි එය රුපියල් මිලියන 652ක බදු පෙර ලාභයක් දක්වා වැඩිවී තිබේ. පබ්ලික් බෑංක් බර්හර්ඩ් ශ්‍රී ලංකා ශාඛාවේ පසුගිය වසරේ මුල් බාගයේ රුපියල් මිලියන 119ක් වූ ලාභය මේ වසරේදී රුපියල් මිලියන 247ක් දක්වා වැඩි වී ඇත.

එසේ වුවත් මෙරට ප්‍රධාන ම බැංකුවල සහ සමූහ ව්‍යාපාරවල ලාභය පොදුවේ හරි අඩකට ආසන්නයෙන් බිඳ වැටී තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පසුගිය වසරේ මුල් මාස 6 තුළ රුපියල් මිලියන 11,011ක් සිට මෙම වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 5,411ක් දක්වා බිඳ වැටී ඇත. එන්එස්බී සමූහයේ පසුගිය වසරේ මුල් මාස 6 තුළ ලැබූ රුපියල් මිලියන 11,068ක් මෙම වසරේ මුල් මාස 6 තුළ රුපියල් මිලියන 3,406 දක්වා තුන් ගුණයකට ආසන්නව බිඳ වැටී තිබේ.

හැට්න් නැෂනල් බැංකුව පසුගිය වසරේ මුල් මාස 6 තුළ රුපියල් මිලියන 10,931ක් වූ ලාභය මෙම වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 5,987 දක්වා බිඳ වැටී ඇති අතර එම ව්‍යාපාර සමූහයේ අර්ධ වාර්ෂික ලාභය ගිය වසරේ රුපියල් මිලියන 12,013 සිට මෙම වසරේ එය මිලියන 6,666 දක්වා බිඳ වැටී තිබේ.

එන්ඩීබී බැංකුවේ පසුගිය වසරේ අර්ධ වාර්ෂික ලාභය රුපියල් මිලියන 4,974 සිට මෙම වසරේදි එම කාලය තුළ රුපියල් මිලියන 1,836 දක්වා ද එම සමූහයේ පසුගිය වසරේ අර්ධ වාර්ෂික ලාභය රුපියල් මිලියන 5,240 සිට මෙම වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 2,036 දක්වා බිඳ වැටී ඇත.

පුවත යවන්න