බැසිල්ට අසුන දෙන්න බහුතරයක් කැමැත්තෙන් – පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට අදහස් කරනුයේ නම් මන්ත්‍රී ධුරය පිරිනැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කැමැත්තෙන් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ රටේ වගකිවයුතු කාර්යභාරයක් ඉටු කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන් දැඩි ඉල්ලීම් කර තිබූ බවත් එම ඉල්ලීම නැවත වරක් දැඩි ලෙසින් රාජපක්ෂ මහතා වෙත මේ සමයේදී යොමු වෙමින් තිබෙන බවත් කාරියවසම් මහතා කීවේය.

පාක්ෂිකයන්ගෙන් ඉදිරිපත්ව ඇති එම ඉල්ලීම රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර නැති නමුත් ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට පූර්වගාමීව සිදු කළ යුතු කටයුතු රාශියක් ඇති බවත් එවැන්නක් සිදුවන්නේ නම් රටටම දැනුම් දී උත්සවශ්‍රීයෙන් කරනු මිස සැඟවී කිරීමේ බලාපොරොත්තුවක් නැති බවත් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

පක්ෂයේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට අමුතුවෙන් කැම්පේන් කිරීමේ අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන් කාරියවසම් මහතා අලුත් පක්ෂයක් තනා වසර හතරක් තුළ ප්‍රබල පක්ෂ පහතට දමමින් ජනාධිපතිවරයකු සහ රජයක් බිහිකිරීමට කටයුතු කළ රාජපක්ෂ මහතා සුවිශේෂී නායකයකු බවත් පැවසීය.

ලෝකයම එක ලෙස මුහුණපා සිටින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ සුවිශේෂී තත්ත්වයන් කළමනාකරණය කළ හැකි සුවිශේෂී පුද්ගලයකු පැමිණීම වඩා වැදගත් ලෙසින් තමන් සලකන බවත් බැසිල් රාජපක්ෂ මහතාට එවැනි සුවිශේෂී හැකියාවක් ඇති හෙයින් රට වෙනුවෙන් එම කාර්ය ඉටු කිරීමට ඉදිරිපත් වන්නැයි එකාවන්ව ඉල්ලා සිටින බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

පුවත යවන්න