බිහිසුණු රැල්ලක අවදානම ඉදිරියේ පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීම බුද්ධිමත් තීරණයක් ද?

කොරෝනා වසංගතයේ අවදානම ලෝකය පුරා වඩාත් වේගයෙන් පැතිර යමින් තිබේ.
කොරෝනා මරණ ප්‍රමාණය සාපේක්ෂව අඩු මට්ටමකට පත්ව තිබුණ ද ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වූ සතිය වන්නේ ගතවෙමින් පවතින මෙම සතියක කාලයයි.
ශ්‍රී ලංකා තුලද දෛනිකව කොරෝනා ආසාදිතයන් 600ක් ඉක්මවා වාර්තා වෙමින් පවතී.
කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට අනුව හා වෛද්‍යවරුන් නොනිල මට්ටමින් අනාවරණ කරන තත්ත්වයන් අනුව ලංකාවේ දෛනික ආසාදිතයන් ගණන 1,500 ක් පමණ වන බව ප්‍රකාශ කරනු ලබයි.
මේ සමග ඔමික්‍රොන් ආසාදිතයන් ප්‍රමාණය ද මෙරට තුල ඉහළ යන බවට සාධක ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයකින් එම රෝගීන් වාර්තා වී තිබේ.
එවන් තත්ත්වයකදී මෙරට තුල බරපතල කොරෝනා රැල්ලක අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිල වශයෙන් අවධාරණය කර තිබේ.
එහි අර්ථය වන්නේ අප මෙතෙක් මුහුණ නොදුන් මට්ටමේ ආසාදිතයන් වර්ධනයක් මෙරට තුලින් වාර්තා විය හැකි බව මිස අනෙකක් නොවේ.
පී සී ආර් ධාරිතාවය අඩු කිරීම හෝ ආසාදිතයන් හඹා නොයාම මගින් ආසාදිත දත්ත අවම ලෙස පෙන්නුම් කළ හැකි වුවද මතුවිය හැකි අවදානමක හැකියාව කිසිසේත්ම අවම නොවනු ඇත.
මේ වන විට රජයේ සේවකයන් සම්පූර්ණයෙන් සේවය කැඳවා ඇති අතර සංගීත සංදර්ශනවලට පවා ඉඩහසර විවර කර තිබේ.
ඉන් නොනැවතී සම්පූර්ණයෙන් දරුවන් සඳහා පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තීරණය කර ඇත.
එය මතුවිය හැකි අවදානම් තත්ත්වයක් තුල බිහිසුණු රැල්ලකට අතවැනීමක් බව වඩාත් පැහැදිලි කරුණකි.
මෙවන් තීරණ ගනු ලබන්නේ කවරකු වුවද එවන් පුද්ගලයකුගේ වෘත්තීය දැනුම කෙසේ වෙතත් සාමාන්‍ය දැනුම පිළිබද පවා ප්‍රශ්නයක් මතුවීම වැලැක්විය නොහැකිය.
යථාර්ථය අනුව අප ළගාවෙමින් සිටින්නේ 2020 අප්‍රේල් මාසයෙන් පසු මතුවූ තත්ත්වයට වඩාත් සමාන හෝ ඉන් ඔබ්බට ගිය අවදානම් සමයකට බව පැහැදිලිව පෙනේ.
ඔමික්‍රොන් මගින් රෝහල්ගත කිරීමේ අවදානම අඩු කළඳ දැවැන්ත මට්ටමේ ආසාදිතයන් වාර්තාවීමක දී මෙරට රෝහල් පද්ධතිය බිද වැටීම වැළැක්විය නොහැකිය.
එවන් අවදානමක් වෙත මේ වන විට රට ක්‍රමයෙන් රැගෙන යමින් පවතින අතර වගකිව යුත්තන් ඒ පිළිබද කටයුතු කර ආකාරය ගැන ඇතිවන්නේ බරපතල කණගාටුවකි.

ජනතාව අතර තිබූ කොරෝනා බිය දැන් නිමාවී තිබේ. එහෙත් නිමාවීම ඉක්මන් වැඩි වුවහොත් මතුවිය හැකි අවදානම වඩාත් හානිකර වනු ඇත. ගතවූ නත්තල් සමය රට පුරා කළාප රැසක් සංචාරකයන්ගෙන් පිරී පැවතුණු අතර එයි කොරෝනා පැතිරවීමක් නොවූ බව කාටනම් කිව හැකිද?
දරුවන් සඳහා පාසල් විවරවිය යුතුය .එහි සැකයක් නැත. එහෙත් දරුවන් මෙම අවදානමකට විවර කිරීමෙන් පසු බිහිවන අනාගත පරපුර කොරෝනා වසංගතය නිර්මාණය කරන අතුරු ආබාධවලින් පීඩාවට පත්වනු නිසැකය.
එහෙයින් තීරණ ගනු ලබන්නන් තීරණ ගනු ලබන්නේ කවර අවශ්‍යතා මතදැයි ඔවුන් යළි සළකා බැලීම වටී.
එය ජනතාවගේ යහපත වෙනුවෙන් නොවන බව පමණක් නිසැකවම සහතික කිරීම අපහසු නැත. – අමල් අල්මේදා

පුවත යවන්න