“ගල්අඟුරු නැව මුහුදුබත් වීම වළක්වන්න තිබූ එකම ක්‍රමය නැව මහ මුහුදේ තිබිය දී ම අලුත්වැඩියාවක් කිරීම පමණයි. අපි ඒ අභියෝගය භාරගත්තා. අපේ කිමිදුම්කරුවන්, පෑස්සුම්කරුවන්, කැපුම්කරුවන් ඇතුළු සියලු දෙනා සමඟ නැවට ගිහින් දියට බැස්සා. අපිට වැඩ කරන්න වුණේ මීටර 20ක් පමණ මුහුද යට. දින 03ක් තිස්සේ අපි වැඩ කළා. ඒ අභියෝගය අපි ජයගත්තා”
මහ මුහුද සමඟ පොරබඳන මිනිස්සු ඕනෑ තරම් සිටිති. ඔවුන් පොර බඳන්නේ මහ මුහුදේ ජලය සමඟ පමණක් නොවේ, දැවැන්ත නෞකා ද සමඟය. ප්රචණ්ඩ මහ මුහුදේ අනතුරට පත් නෞකා මුහුද යට අලුත්වැඩියා කරමින් ඔවුන් සිදුකරන පොර බැදීම සුළු පටු කර්තව්‍යයක් නොවේ.මේ ගාල්ලේ චතුර කුඩච්චිය.
අනතුරට පත්වන නැව් බේරාගැනීමේ කාර්යට උර දී සිටින හෙතෙම ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර නැව් සමාගම් අතර ද ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.
“නැව්වලට විවිධ අනතුරු සිදුවෙනවා. ඇතැම් විට ඒවායේ ජලය යට තියෙන කොටස්වලට හානි සිදුවෙලා ඇතුළට ජලය කාන්දුවනවා. අපිට පසුගිය දිනක එවැනි නැවක් අලුත්වැඩියා කරන්න සිදුවුණා. ඒක ලෙහෙසි කාර්යක් නෙවෙයි. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගමන්කරමින් තිබූ “MV STAR ANGIE” නැවේ අවරපෙති අසලින් වේගයෙන් වතුර නැව ඇතුළට කාන්දුවෙන්න පටන් අරගෙන නැව ගිලී යාමේ විශාල අවදානමක් තිබුණා. ඒ වෙලාවේ ඔවුන් උදව් ඉල්ලුවේ අපේ “THE DIVERS” සමාගමෙන්. නැව් සඳහා ආපදා සේවා සපයන ආයතනයක් ලෙස කටයුතු කරන අප පැය 24ම ක්‍රියාත්මකයි. ඒ පණිවිඩය ලැබුණු මොහොතේම අපි ක්‍රියාත්මක වුණා.”
කුඩච්චි පවසන්නේ උදව් ඉල්ලූ නැව දැවැන්ත නෞකාවක් බවද පවසමිනි.
ගල් අඟුරු ප්‍රවාහනය සඳහාම නිපදවා ඇති මේ නැව මීටර 292ක් දිගය. පළල මීටර 45කි. නැවේ ඇතුළත ගැඹුර මීටර 18කි. ග්‍රීසියේ ඇතන්ස් නගරයේ මූලස්ථානය පිහිටි star bulk/star trident VLLC නමැති සමාගමට අයත් මෙම නැව ලයිබීරියා ධජය යටතේ සිංගප්පූරුවේ සිට ඉන්දියාවේ බටහිර දෙසට යාත්‍රා කරමින් තිබිණි. නැවේ ගමන් මාර්ගය ශ්‍රී ලංකාව ආසන්නයෙන් වැටී තිබුණු අතර එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 159,000ක් තිබිණි. හම්බන්තොට ආසන්න මුහුදේ දී නැවට ජලය කාන්දුවීම ආරම්භ වී තිබිණි. ඒ නැවේ අවර පෙති සවිවන ස්ථානය ආසන්නයෙනි. කපිතාන්වරයාගේ මෙහෙයවීමෙන් ජල මෝටර යොදා නැවට කාන්දුවන ජලය ඉවත්කරමින් ඉදිරියට යාත්‍රා කරමින් තිබිණ.
නැවේ අලුත්වැඩියා කටයුත්ත සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව ආදී ආයතනවලින් අවසර ගැනීමේ කටයුතු සිදුකිරීමට චතුර කුඩච්චි ලහි ලහියේ කටයුතු කළේය.
එදින සවස වනවිට නැව ගාල්ල වරායට නාවික සැතපුම් 16ක් දක්වා සමීපයට පැමිණි අතර කුඩච්චිගේ උපදෙස වූයේ එම ස්ථානයේ නැංගුරම් දමා නවත්වන ලෙසයි. ඔහු කිමිදුම්කරුවන් ද තාක්ෂණ ශිල්පීන් ද සමඟ නැවට යාමට පිටත් විය. නැවේ හානිය හඳුනාගැනීම සඳහා දියයට ඡායාරූප සහ වීඩියෝ කිරීම සඳහා ශිල්පීන්ද විය.
“අපි නැවට ගියා. කාර්ය මණ්ඩලය හමුවෙලා සාකච්ඡා කරලා නැවට ජලය පැමිණෙන ප්‍රමාණය හා එය මෝටර් යොදා ඉවත්කිරීමේ හැකියාව පිළිබඳ තක්සේරුවක් කළා. ලොකුම ගැටලුව වුණේ ජලය පැමිණීම ක්‍රමයෙන් වැඩිවීම. ඉක්මනින් ජල කාන්දුව නැවැත්විය යුතුයි. නැතිනම් ගල් අඟුරු තොගය සමඟ නැව ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගිලී මහා විනාශයක් වෙනවා. මේ ගල් අඟුරු වෙනම බහාලුම්වල දාපුවා නොවෙයි. නැවේම ඇති ස්ථිර ටැංකි වැනි ව්‍යුහවල දාලා තිබුණේ. ඒ නිසා නැව ගිලී ගියොත් ගල් අඟුරු සියල්ල මුහුදු ජලයට එකතු වෙනවා.”
ජලයට බැස නිරීක්ෂණය කළ විට ඔවුන් දුටුවේ නැවකට සිදුවිය හැකි බරපතළම හානිය සිදුව තිබෙන බවකි.
“ නැව යාත්‍රා කිරීමේ ප්‍රධානම ව්‍යුහය තමයි අවරපෙති. අවරපෙති නැවේ එන්ජිමට සෘජුව සම්බන්ධයි. අවරපෙති කැරකීමෙන් තමයි නැවට යාත්‍රා කිරීමේ බලය ලැබෙන්නේ. මේ නැවේ එක අවර පෙත්තක් මීටර 9ක් දිගයි. අවරය නැවේ එන්ජිමට සවිවන ස්ථානයේ තිබෙන බෙයාරින් කැඩිලා එළියට පැනලා. එතැන තිබෙන ස්ටර්න් ටියුබ් ඒකත් කැඩිලා නොනවත්වා නැව ඇතුළට වතුර ගමන් කරමින් තිබෙනවා. නැව ගැඹුරු මුහුදේ තිබෙන නිසා එය දිය පහරට පැද්දෙන විට හානිය වැඩි වෙනවා.”
නැවේ කාර්ය මණ්ඩලය 23 දෙනෙකි. ඔවුන් විශාල ප්‍රමාණයේ ජල පොම්ප 8ක් යොදා ගනිමින් නැවට එකතුවන ජලය නොනවත්වා ඉවත්කරමින් සිටියි. නමුත් ඒ වනවිටත් නැවේ සිටි සියල්ලෝම අධික ලෙස වෙහෙසට පත්ව සිටියහ.
සිදුව ඇති හානිය තේරුම්ගත් කුඩච්චි ඇතුළු පිරිස තම කාර්යය සැලසුම් කිරීම සඳහා එදිනම ගොඩබිමට පැමිණියහ. නැවේ කපිතාන්වරයා පින්සෙණ්ඩු වෙමින් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් පැමිණෙන ලෙසයි. ගොඩබිමට පැමිණි ඔහුට විශාල වැඩ කොටසක් තිබිණි. නැවේ මව් සමාගමට සියල්ල දැනුම් දුන් අතර නැව අලුත්වැඩියා කිරීමේ සැලසුම ද ප්‍රකාශ කළේය. ඊට අමතරව සිදුව ඇති හානියත් එය යළි සකස් කරන ආකාරයත් පිළිබඳ නැවේ රක්ෂණ සමාගම ද දැනුම්වත් කෙරිණි. මේ අතර නැව අයත් සමාගමේ නිලධාරීන් පිරිසක් ද ලංකාවට පැමිණ කුඩච්චි සමඟ එක් විය.
ඔවුන්ගේ සැලැස්ම වූයේ නැව ගාල්ලේ දී තාවකාලිකව අලුත්වැඩියා කිරීමයි. දැවැන්ත ගල් අඟුරු තොගයක් සමඟ ප්රචණ්ඩ මුහුදේ නැවේ ස්ථිර අලුත්වැඩියාවක් කිරීම අපහසු කාර්යයකි. මෙතරම් විශාල නැවක් ගාල්ල හෝ හම්බන්තොට වරායට ඇතුළු කිරීමට නොහැක. ඔවුන්ට තිබුණු එකම විසඳුම වූයේ නැව ත්‍රිකුණාමලය වරාය දක්වා රැගෙන යාමයි. නමුත් ජල කාන්දුවේ ස්වභාවය අනුව එතරම් දුරක් නැව රැගෙන යාමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලය නැව ගිලී යාම බව කුඩච්චි මෙන්ම නැව් සමාගම ද හොඳින් අවබෝධ කරගෙන තිබිණි.
එකම විකල්පය වූයේ නැව මහ මුහුදේ තිබිය දී ම අලුත්වැඩියාවක් කිරීමයි.
“අපි ඒ අභියෝගය භාරගත්තා. අපේ කිමිදුම්කරුවන්, පෑස්සුම්කරුවන්, වෑද්දුම්කරුවන්, කැපුම්කරුවන් සියලු දෙනා සමඟ නැවත නැවට ගිහින් දියට බැස්සා. අපිට වැඩ කරන්න වුණේ මීටර 20ක් පමණ ගැඹුරේ. දින 03ක් තිස්සේ පැය 36ක් අපි වැඩ කළා. ඒ අතර අපි මේ සියල්ල වීඩියෝ පටිගත කළා.”
පළමුවෙන් ම ඔවුහු කැඩී බිඳී ගිය කොටස් ඉවත් කළහ.
එහි ප්‍රතිඵලය වූයේ නැව ඇතුළට ජලය ගලායාමේ වේගය දෙගුණ තෙගුණ වීමයි. ඉන් පසු හැකි ඉක්මනින් එම කොටස් පෑස්සීම සිදු කෙරිණි. නැවේ ප්රොපලර් ආරක්ෂකය කපා යකඩ ටොන් 1.5ක් පමණ ඉවත්කිරීමට ද ඔවුන්ට සිදුවිය.
පසුව එහි ඇති ජල මුද්‍රාව විවෘත වී ඇති ස්ථානයත් හොඳින් විවෘතකර යළි සකස් කරන ලද්දේ විශේෂිත ගම් වර්ගයක් යොදමිනි. දියයට පෑස්සුම් කිරීම ඇතුළු මේ සියලු කාර්යයන් ඉතාමත් වෙහෙසකර වූ බව චතුර කුඩච්චි කියයි.
“මේ විදියට අපිට ජලය ඇතුළට යාම නවත්වාගන්න හැකි වුණා. ගැටලුවක් වුණේ අපි මේ කරපු තාවකාලික පිළියම නිසා නැවේ අවරය ක්‍රියා විරහිත වීමයි. ඒ නිසා නැව පණගන්වා යාත්‍රා කරන්න බැහැ.
නමුත් දැන් නැව ගිලීයාමේ අවදානම අවසන්. අපි කිමිදුම් කණ්ඩායමක් නැවේ ම නවත්වා ඔවුන්ට පිළිසකර කළ ස්ථානය වරින් වර පරීක්ෂා කරන්න උපදෙස් දීලා ගොඩබිමට ආවා.
නැවේ ප්‍රවාහනය කරමින් තිබූ ගල් අඟුරු තොගයේ හිමිකරුවාට අවශ්‍ය වූයේ ගල්අඟුරු තොගය කෙසේ හෝ තම ගමනාන්තය වෙත යැවීම පමණි. මේ සඳහා එකම පිළියම වූයේ වෙනත් නැවකට ගල් අඟුරු තොගය පැටවීමයි. නමුත් ගාල්ල වරාය ආසන්නයේ ඇති රළු මුහුදේ මේ කාර්යය කළ නොහැක. හම්බන්තොට වරායේ ගැඹුර ද මේ සඳහා ප්‍රමාණවත් නැත. කොළඹ වරාය ද එවැනි මෙහෙයුමකට සුදුසු නොවීය.
එකම විකල්පය වූයේ ත්‍රිකුණාමලය වරායයි. අඩි 300ක් පමණ ගැඹුරු ස්වභාවික බොක්කකින් නිර්මාණය වී ඇති ත්‍රිකුණාමලය වරායට නැව ගෙනගොස් වෙනත් නැවක් ගෙන්වා ගල් අඟුරු පටවා එය ඉන්දියාව බලා යැවීමත් හානියට පත් නැව සිංගප්පූරුවට ගෙන යාමත් සැලැස්ම වී තිබිණි.
ඒ අනුව නැව ත්‍රිකුණාමලය වරාය දක්වා විශේෂ ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ඇදගෙන ගියේ මුහුද ආසන්න ගොඩබිමෙන් ද නැව නිරන්තරව නිරීක්ෂණය කරමිනි. මේ සඳහා දින ගණනාවක් ගත විය.
නැව ත්‍රිකුණාමලය වරායට ගෙන ගිය පසු දොඹකර සහිත වෙනත් නැවකින් එහි ඇති ගල්අඟුරු තවත් නැවකට දැමීම සිදුවිය. නෞකාවේ ඇති ගල් අඟුරු තොගය ඉවත්කිරීමට මාසයකට අධික කාලයක් ගත වූ බව චතුර කුඩච්චි පවසයි.
ඉතා වෙහෙසකර මෙහෙයුම ක්‍රියාත්මක වන සම්පූර්ණ කාලයම “ද ඩයිවර්ස්” ආයතනයේ කිමිදුම්කරුවන් හා තාක්ෂණ නිලධාරීන් තමන් විසින් තාවකාලිකව සිදුකළ අලුත්වැඩියාව නිසි පරිදි පවතින්නේ ද යන්න පිළිබඳ විමසිල්ලෙන් පසුවිය.
“නැවේ ගල් අඟුරු සම්පූර්ණයෙන් ම ඉවත්කරන තුරු අපිට විශාල වගකීමක් තිබුණා. ගල් අඟුරු මුහුදට නොවැටී තවත් නැවකට පැටවීම වගේම ඒ අතරතුර නැවට නැවත හානියක් නොවීමට වගබලා ගැනීම. ඒ නිසා අපි නිතරම පරීක්ෂාවෙන් හිටියේ. ගල් අඟුරු සියල්ල ඉවත්කළාට පස්සේ අපි යළිත් වතාවක් නැවේ අලුත්වැඩියාවක් කළා. ඒක කළෙත් මුහුද යට දී.”
ගාල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා නැව රැගෙන යාමේ මෙහෙයුමට වඩා ඉතාමත් අසීරු කාර්යය වන්නේ ත්‍රිකුණාමලයේ සිට සිංගප්පූරුව දක්වා නැව රැගෙන යාමයි. ඒ සඳහා සුදුසු පරිදි නැව සැකසීම එලෙස සිදු කෙරිණ. සියල්ල අවසන නැව් සමාගමේ ඉංජිනේරුවෝ ද රක්ෂණ සමාගමේ නියෝජිතයෝ ද ත්‍රිකුණාමලයට පැමිණ නැව පරීක්ෂා කළ බැලූහ. අලුත්වැඩියාව පිළිබඳ සෑහීමකට පත්වූ ඔවුහු නැව සිංගප්පූරුව බලා රැගෙන යාමට කටයුතු කළහ.
“මේක ඉතාමත් බැරෑරුම් කාර්යයක්. මෙවැනි විශාල නැවකට දිය යට අලුත්වැඩියා කටයුතු කිරීම අසීරුයි. නමුත් අපේ රටේ එවැනි හැකියාවන් තිබෙන කණ්ඩායම් ඉන්නවා. ලංකාව කියන්නේ නැව් ගමනා ගමනයේ දී ඉතාමත් වැදගත් ස්ථානයක්.
අපේ රට ආසන්නයෙන් ලෝකයේ වැඩිම නැව් ප්‍රමාණයක් ගමන් කරනවා. රාජ්‍ය මැදිහත්වීමෙන් මේ කර්මාන්තය වැඩිදියුණු කරනවානම්, අපි වගේ පිරිස්වලට අවශ්‍ය සහයෝගය ජාත්‍යන්තර ප්‍රචාරය ලබා දෙනවානම් ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපිට උපයා දෙන්න හැකියාව තිබෙනවා.”
චතුර කුඩච්චි පවසන්නේ තම සමාගමේ සේවය ලබාගැනීමට නැව් සමාගම් උත්සුක වන්නේ මීට පෙර කරන ලද එවැනි සේවාවන්හි සාර්ථකත්වයෙන් ලබා ඇති කීර්ති නාමය හේතුවෙන් බවයි. මෙම නැව අලුත්වැඩියා කිරීමෙන් ද ශ්‍රී ලංකා රජයට ද සැලකිය යුතු මුදලක් ලැබුණු බවත් මේ කර්මාන්තය වැඩිදියුණු කිරීමට හැකියාව සහිත, ශ්‍රී ලංකාවට වැදගත් ක්ෂේත්රයක් බවත් ඔහු පවසයි.
එස්. ලොකුකරවිට, කරාපිටිය සමූහ