මූල්‍ය අරමුදලෙන් ලංකාවට ඩොලර් මිලියන 800ක ප්‍රදානයක්

රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවන බවයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ.

ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට අමරිකානු ඩොලර් බිලියන හය සිය පනහක් පිරිනැමීමට තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකාවට ඉහත මුදල ලබා දෙනුයේද ඒ වැඩපිළිවෙළ යටතේයි.

ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මෙවැනිම ප්‍රදානයක් කළ අතර එකල එම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් ලැබුණු බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවා.

පුවත යවන්න