මෛත්‍රී – දයාසිරියි පැටලෙද්දී අතේ ලොක්කෙක් ආණ්ඩුවට?

මේ දිනවල දේශපාලන අභ්‍යන්තර ගැටුම් වැඩිපුරම පවතින දේශපාලන පක්ෂය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ‍විදේශගත වූ සැණින් වැඩබලන මහලේකම්වරයෙකු පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීම නිසා මෙම අර්බුදය උග්‍රවිය.

අතේ ගැටුම

ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස පත් කරන ලද්දේ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වු සරත් ඒකනායකයි.

සාමාන්‍යයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙකු විදේශගත වු විට වැඩබලන මහ‍ලේකම්වරයෙකු පත් නොකෙරේ. නමුත් දයාසිරි වෙනුට සරත් පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් අර්බුදයක් තිබෙන නිසා බව නොරහසකි.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් මෛත්‍රී හා දයාසිරි අතර දැඩි වාග් සංග්‍රාමයක් දුරකතන මාර්ග ඔස්සේ සිදු වු බවද වාර්තා වේ.

“ලංකාවට ආවම බලාගන්නම්” යනුවෙන් පවසමින් දයාසිරි දුරකතන ඇමතුම විසන්ධි කළ බවද කියවේ.

මේ අතර වර්තමාන ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හමු වී තිබේ. ඔවුන් මෛත්‍රීට ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවට එක්වන ලෙසයි.

රනිල් – මෛත්‍රී හමුවක්

මේ අතර පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමු වී තිබේ.

‍මේ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙකුට ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුවට එක්වීමේ යම් අදහසක් තමාට තිබෙන බවයි.

මස් රාත්තලම ඉල්ලුවේ කවුද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන 2.9ක ණය වාරිකය අනුමත වීමට නියමිතව ඇත්තේ ලබන 20 දා ය. රාජ්‍ය සේවක වැඩවර්ජනයක් පැමිණෙන්නේ ඊට දවස් පහකට පෙරය. වර්ජනයට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වර්ජනයට දායක වන කණ්ඩායම් කිහිපයක් මුණ ගැසීමට කටයුතු කළේ මෙම ගැටලුව සාකච්ඡාවෙන් විසඳා ගැනීම අරමුණු කර ගනිමිනි.

ජනපති රනිල්ට අමතරව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනපති ලේකම් සමන් ඒකනායක හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ද වෘත්තීය සමිති නායකයන් වෙන වෙනම මුණ ගැසුණේ වර්ජනයකින් තොරව ගැටලුව විසඳා ගැනීම උදෙසාය.

එහෙත් වෘත්තීය සමිති මස් රාත්තලම ඉල්ලා සිටීම හේතුවෙන් රජය ද ඊට මුහුණදීමට සූදානම් වූවේය. එම ගලඋඩ සටනේ තීරණත්මත දිනය වූවේ ඉකුත් 15 දාය. සඳුදා දිනයෙන් වැඩි කොටසක් ජනපති වෙන් කෙරුවේ වර්ජකයන් සමඟ සාකච්ඡා කිරීමටය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡා ධනාත්මකව අවසන් වූවේය. සාකච්ඡා කළ කරුණු ගැන ජනපතිගේ පාර්ශ­්වයෙන් ලිපියක් අවශ්‍ය බව වෛද්‍ය නිලධාරි සංගමය දැනුම් දී තිබුණේ ජනපති සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු ජනපති ලේකම් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

බදු ගැනම කියලා සාගලගේ කට රිදෙයි

දෙවන සාකච්ඡාවට ජනාධිපති ලේකම් හා ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සමරතුංග ද එක්ව සිටියහ. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද ජනපති උපදෙස් මත බැංකු නියෝජිතයන් වෘත්තීය සමිති ප්‍රධානීන්, වෛද්‍ය වෘත්තිකයන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ඔහු එන අතරතුර ප්‍රකාශ කළේ එකම කතාව එක් දිගට කියාම එපා වූ බවය.

“මගේ කතාව ටේප් කරලා මේ අයට දාන්න බැරිද? බදු සංශෝධනය ගැන පැහැදිලි කරලම කට රිදෙනවා” කාර්ය මණ්ඩල ප්‍රධානියා කියද්දී එහි සිටි නිලධාරීන් කොක් හැඬලූහ.

එහි සිටි නිලධාරියෙකු කීවේ සර්ගේ කට රිදුනත් බදු ගැන කියූ දේ නිසා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් වෙනස් කිරීමට හැකිවූ බවය.

අත්‍යවශ්‍ය සේවා වගන්ති වජිරගේ අවධානයට

ජනපති රනිල් සඳුදා සවස ජනපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේ තැපැල් සේවය ද අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරන ලෙසය. එහි සිටි වජිර ක්ෂණිකව අත්‍යවශ්‍ය සේවා පනතේ ඇති වගන්ති කිහිපයක් සිහිපත් කළේ මතු සූදානමටය.

“මේ පනත අනුව අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කරන අයගේ දේපළ රාජසන්තක කරන්න පුළුවන්.” වජිර කියද්දී ජනපති හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.

නීති ක්ෂේත්‍රයේ වසර 50 ක් සම්පූර්ණ කළ නීතිඥයන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ සම්මාන උලෙළට ජනපති රනිල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙත ගියේ සදුදා සවසය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ද ඊට එක්ව සිටි අතර, ඔවුන් දෙපළ නීති විද්‍යාලයේත්, කොළඹ විශ්වවිද්‍යාලයේත් නීති පීඨයේත් සමකාලීනයෝ වූහ.

ජනපති රනිල්ට සම්මානයක්

නීතිඥ සංගමයෙන් ජනපති ප්‍රධාන ආරාධිතයා ලෙස නම් කිරීමට යෝජනා කළත් ජනපති දැනුම් දී තිබුණේ තමන් සම්මානලාභියෙකු බැවින් අගවිනිසුරු ප්‍රධාන ආරාධිතයා කරන ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්. ඩි.ජේ සෙනවිරත්න ද මෙහිදි සම්මාන ලැබූ අතර, ජනපති සම්මානය ලබා ගත්තේ සිය පන්ති සගයා වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය අතිනි.

ජනපතිට සම්මානය හිමිවූවේ 50 වසර සැපිරූ සම්මාන ලැයිස්තුවේ 09 වැනි නීතිඥයා ලෙසටය. එහෙත් සෙසු සම්මානලාභින්ට හිමි අත්පොළසන් නාදය පරයා දැඩි අත්පොළසන් නාදයක් ඔහුට හිමිවූවේ මුළු ශාලාවම ගිගුම් දෙවමිනි.

රනිල්ගේ ආරාධනාවෙන් ෂොහාන් ගී ගයයි

සම්මාන ප්‍රදානෝත්සවයෙන් පසු පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වූ ජනපති රනිල් සිය පැරණි මිතුරන් අසලටම ගොස් කතා බහ කිරීමට අමතක නොකළේය. රාත්‍රී භෝජනය සංගීතයෙන් රසවත් වෙද්දී නිතිඥයෙකු මෙන්ම ජනප්‍රිය පොප් ගායෙකු ද වන ෂොහාන් වීරසිංහ අසලට ගිය ජනපති මුලින්ම ඔහුට සුබ පැතුවේ නීති දිවියේ 50 වසර වෙනුවෙන් ලද සම්මානයටය. ඉන් නොනැවතී ජනපති ඔහුට ගීයක් ගායනා කරන ලෙසට ආරාධානාවක් ද කළේය.

ජනපතිගේ ආරාධනාව ඉතසිතින් පිළිගත් ගායක ෂොහාන් ද විජය තුමාරතුංගයන්ගේ රැල්ලෙන් රැල්ලට ගීතය ගායනා කරනු ලැබුවේ සැමගේ අත්පොළසන් හඬ මධ්‍යයේය.

වර්ජනය ගැන ඇමතිවරුන් කීවේ මොනවාද?

වර්ජනය පැවැති දින සවස ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණි මැති ඇමතිවරු පිරිසක් ඒ සම්බන්ධයෙන් ජනපති හා සාකච්ඡා කළහ.

“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වර්ජනය අවසන් කරන්න තීරණය කරලා. එයාලට ජනාධිපතිතුමාගෙන් ලියුමක් ලැබුණා කියන්නේ.” කතාව ආරම්භ කළේ වජිරය.

“එයාලා දෙකට බෙදිලා ඉවරයි. ජනතාව දන්නවා මෙයාලා දේශපාලන හා පෞද්ගලික උවමනාවක් කරන්නේ කියලා.” ඇමති බන්දුල ද කීවේය.

“වරායෙත් එස්.ජේ.ටි එකයි. සි.අයි.සි.ටි එකයි වැඩ කළා. මේ නිසා බහාලුම් ප්‍රවාහනයට ගැටලුවක් වුණේ නෑ. හැබැයි ප්‍රධාන නෞකාවල සේවකයන් ගෙනියන වරායේ කුඩා යාත්‍රවල කපිතාන්ලා නම් ඔවුන්ව ගෙනිෙයන්න බෑ කියලා තියෙනවා. හැබැයි අපි නාවුක හමුදාවේ සහාය අරගෙන සේවකයන් නෞකාවලට යැව්වා. ඒ නිසා ගැටලුවක් වුණේ නෑ.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ද පිළිතුරු දුන්නේය.

“වරායට අයිති ජේ.සී.ටි එකේ අය වැඩ කළේ නෑ. නමුත් ඒක ලොකුවට දැනුනේ නෑ. මොකද විශාල නෞකා මේ පර්යන්තයට එන්නේ නැති නිසා.” ඇමැති ශෙහාන් සේමසිංහ ද කතාවට එකතුවූවේ එලෙසිනි.

“ලාල් කාන්ත එකක් කියනවා. වසන්ත සමරසිංහ තව එකක් කියනවා. සේවකයෝ මේවා තේරුම් ගන්න ඕනේ.” ඇමැති බන්දුල කීවේ එවැනි කතාවකි.

අගමැති දිනේෂ් බෝගම්බරට

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතිහාසයේ විරුවන් වෙනුවෙන් පසුගිය සතියේදී ගත් තීරණයක් බොහෝදෙනෙකුගේ ඇගැයීමට ලක්ව තිබේ.

මුරුසියේ සිරකළ විරුවන්ගේ දේපළ එම විරුවන්ගේ වත්මන් ඥාතීන්ට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.

මෙම කරුණු හෙළි වුයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි 02 වැනි වරට අරලියගහ මන්දිරයේදී පසුගිය 13 වැනිදා පැවති සංකථන මණ්ඩපයේදීය.

“උඩරට කැරැල්ල සහ මුරුසියේ සිරකරුවන්” යනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විසින් මෙහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.

මුරුසියේ සිරකළ අතීත විරුවන් ගැන කතා කිරීමට ‍දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාද මෙහිදී අමතක නොකළේය.

අධිරාජ්‍යවාදයට එරෙහිව තම පියාවන පිලිප් ගුණවර්ධන ඇතුළු වාමාංශික නායකයින් සිදුකළ සටන් සහ පිලිප් ගුණවර්ධන මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සිරගත කිරීමේ සිද්ධියද ආවර්ජනය කළ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සිරගත වු තම පියා බැලීම සඳහා එදා තමා බෝගම්බර සිරගෙදරටද ගිය බවයි.

තවමත් ජනප්‍රියම දේශපාලඥයා කවුද?

පසුගිය 12 වැනි ඉරිදා මොණරාගලදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමට විශාල පිරිසක් පැමිණිම ‍මේ වන විට බො‍හෝ දේශපාලන පක්ෂවල අවධානයට ලක් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙම රැස්වීමට විශාල පිරිසක් පැමිණීම සම්බන්ධයෙන් වැඩිපුරම කලබලයට පත්වුණේ ඩලස් අලහප්පෙරුමගේ නිදහස් සභාව සහ විමල් වීරවංශගේ උත්තර ලංකා සභාවයි.

එම සංවිධාන දෙකේම පිරිසක් මොණරාගල රැස්වීම පිළීබඳ විද්වතුන් දෙතුන් දෙනෙකු සහ දේශපාලන විචාරකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ජා කර ඇත.

මතක තියාගන්න අදටත් මේ රටේ ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ කියලා. ආපහු පොහොට්ටු‍ව උඩට ගේන එක මහින්දට එච්චර අමාරු නැහැ. ” යනුවෙන් එක් දේශපාලන විචාරකයෙක් මෙහිදී ප්‍රකාශ කර ඇති අතර, ඔහු සමගි ජනබලවේගයේ නායකයින්ටද මෙම කතාවම කියා ඇති බව වාර්තා වේ.

රාජපක්ෂවරුන්ට පහරදීමේ වගකීම විමල්ට හා ඩිලාන්ට

මොණරාගල රැස්වීමෙන් පසුව වැඩිපුරම රාජපක්ෂවරුන්ට පහරදිය යුතු බව නිදහස සභාව සහ උත්තර ලංකා සභාව තීරණය කර ඇති අතර, එහි වගකීම වැඩිපුරම පවරා තිබෙන්නේ විමල් වීරවංශට හා ඩිලාන් පෙරේරාටය.

විමල් අම්ලන්තොටදී පැවති රැස්වීමේදී දිගට හරහට රාජපක්ෂවරුන්ට පහරදුන් අතර, වැඩිම ප්‍රහාරයට ලක් වුයේ නාමල් රාජපක්ෂය. බ්‍රොයිලර් කුකුළා යනුවෙන්ද විමල්, නාමල් රාජපක්ෂ හැඳින්විය.

ජනදුක නිවන ප්‍රසන්නගේ තැන

ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවස, කාර්යාලය හා සම්මන්ත්‍රණ ශාලාව ගිනි තබා විනාශ කිරීමෙන් පසුව පැවති පළමු දේශපාලන රැස්වීම පසුගිය 12 වැනිදා උඩුගම්පළදී පැවැත්වුණේ අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

ඇමති ප්‍රසන්න මේ රැස්වීම සඳහා පාවිච්චි කළේ අමුතුම ආකාරයේ තේමා පාඨයකි. එය “ජනදුක නිවන තැන මෙතැන” නම් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන හෝ පොහොට්ටුව ලකුණ එහි නොවීය. එබැවින් මෙම ජන හමුව පක්ෂයේ ඉහළ නායකයන්ට මෙන්ම අමාත්‍යවරයාගේ ආධාරකරුවන්ටද ප්‍රශ්නාර්ථයක්ම විය.

“ඇමතිතුමා මේක මොකද්ද? අපිටවත් කියන්න බැරිද” ඇමතිවරයාගේ ආධාරකරුවන් කිහිප විටකදීම විමසීය.

“12 වැනිදටම බලාගනිමු” ඇමතිවරයා සිනාසෙමින් කීවා මිසක පැහැදිලි පිලිතුරක් දුන්නේ නැත.

මේ අතරවාරයේදී පොහොට්ටුවේ ඉහළ පෙළේ නායකයෝද ඇමති ප්‍රසන්නගෙන් මේ ගැන විමසූහ. ඒ අතර පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මෙන්ම හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේද විය.

“මම කරන්නේ මේ වෙලාවේදි කරන්න ඕන දෙයක්.ඇවිල්ල බලන්න” ඇමතිවරයා ඔවුන්ටද දුන්නේ අණ්ඩර දෙමළ පිළිතුරකි.

ප්‍රසන්නගෙන් අරගලකරුවන්ට අනතුරු ඇඟවීමක්

ඊනියා අරගලයේ නාමයෙන් නිවාස හා දේපළ ගිනි තබා විනාශ කළ සියලුම දෙනාට උපරිම දඬුවම් ලබාදීමට ක්‍රියා කරන බවත්, සිය පියා බෝධි සත්වයකු වුවද තමන්ගෙන් එවැන්නක් බළාපොරොත්තු නොවන්නැයිද ඇමති ප්‍රසන්න මෙම ජනහමුවේදී ප්‍රසිද්ධියේම ‍කීවේය.

එම ප්‍රකාශයට රැස්ව සිටි පිරිසගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණි.රැස්වීමෙන් අනතුරුව ඇමැති ප්‍රසන්න සිය ආධාරකරුවන් සමඟ සුහද පිළිසඳරක ද යෙදින.

“අපි හිතාගෙන හිටියට වඩා ඇමතිතුමා හරි සැරයිනේ” රැස්වීමෙන් අනතුරුව කිහිපදෙනෙකුම ඇම­ැතිවරයාට කීවේය.

මම හොඳට හොඳයි. නරකට අන්තිම නරකයි. මාව කොන්ට්‍රොල් කරන් හිටියේ තාත්තා.” ඇමැතිවරයා ඔවුන්ට කීය.

“ඇත්තද ඇම­ැතිතුමා වෙන පක්ෂයකට යනව කියන්නෙ.” රැස්ව සිටි අයකු කතාව වෙනතකට හැරවිය.

“පිස්සුද? මේක අපි හදපු, අපි රැකපු පක්ෂය. මේ පක්ෂය හදන්න අපි කොයිතරම් දුක් වින්ඳද? මම එහෙම ට්‍රැක් මාරු කරන කෙනෙක් නෙවෙයි.ඔය කේලම්වලට අහුවෙන්න එපා.”

“රැස්වීම මරු.” ඇමැති කංචන හා මහින්දානන්ද ඇමති ප්‍රසන්නගේ පිටට තට්ටු කරමින් කීවේ තේ බොන අතරදීය.

කැබිනට් මණ්ඩලයේම අවධානය විජයදාසට

මෙම සතියේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයගේ සහ ඇමැතිවරුන්ගේ පූර්ණ අවධානය යොමු වූයේ අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා තුනක් සම්බන්ධයෙනි. රටේ සිදුවන වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ නීතිපති අනුමැතිය ලද නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

මෙය කඩිනමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇමති විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමේ කටයුත්තේදී දූෂණ විරෝධී පනත සම්මත කරගෙන තිබීමේ වැදගත්කම ඇම­ැතිවරයා පෙන්වා දුන්නේය.

සුසන්තා චන්ද්‍රමාලිගේ නිවසට සජිත් එයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි රෝගාතුරව සිටින බවත් ඇයට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බවත් විපක්ෂ නායක සජිත්ට දැනගන්නට ලැබුණේ පේෂල මනෝජ් කලා ශිල්පියා හරහා ය.

“සර්,සුසන්තා අක්කට මේ වැඩේට උදව් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා”

පේෂල සජිත්ට දැනුම් දුන්නේය.

“එතුමියට අවශ්‍ය මොනවද කියන එක පොඩ්ඩක් දැනගෙන කියන්න. අපි කරන්න පුළුවන් ඕන දෙයක් කරමු.”සජිත් පේෂලට කීවේය.

අවශ්‍ය ඖෂධ මොනවා දැයි දැන ගත් වහාම සජිත් කළේ තමන් දන්නා හඳුනන ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන්ට කතා කොට ඒ පිළිබඳව විමසීම ය. ඖෂධය කුමක් දැයි කියා දැන ගත්තාට පසු සජිත් කළේ ඒ ඖෂධය ඇති තැන් කොහෙද කියා සොයා බැලීමය. සෑහෙන මට්ටමේ මෙහෙයුමකින් පසු අවශ්‍ය ඖෂධ සොයා ගැනීමට සමත් විය.

“බෙහෙත් ටික හොයා ගත්තා. මට එතුමියගෙ සුවදුක් බලන්නත් අවශ්‍යයි. අපි ගෙදරටම යමු”සජිත් පේෂලට කීවේය. 

“දේශපාලන නායකයෙක් මේ ගෙදරට ආවාමයි”

සජිත් නිවසට ගොඩවෙද්දී සුසන්තා පෙරමගට විත් එහෙම කීවාය.

සජිත් බොහෝ වේලා ඇය සහ ඇගේ පවුලේ උදවිය සමඟ සතුටු සාමීචියේ යෙදුණු අතර, ඇය එම හෝරා කිහිපය බොහෝ සතුටින් ගත කළා ය.

“මේ උපකාරය ඉහටත් උඩින් වටිනවා.ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්දා”

රුපියල් ලක්ෂ හැට තුනකට වැඩි ඖෂධ තොගය පරිත්‍යාග කරන අතරතුර සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය සජිත්ට එහෙම කීවාය.

“මොනවත්ම කියන්න ඕන නැහැ. ඔබතුමිය සනීප වෙන්න. සනීප වෙලා ආපහු කලා ක්ෂේත්‍රයට එන්න” සජිත් ඇයට කීවේය.

දමිතා අබේරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වුහ.

සුසිල්ගේ කතාවට අජිත් රාජපක්ෂ කම්පා වෙයි

ලබන සතියේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

පක්ෂ නායක රැස්වීම අතරතුර පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නවතම වාර්තාවක් ගැන සඳහන් කරමින් කියා සිටියේ 3 ශ්‍රේණියේ දරුවන්ගේ සාක්ෂරතාවය 6% දක්වා පහත වැටී ඇති බවයි.

මෙම කතාවෙන් දැඩි ලෙස කම්පනයට පත් වු අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා තම කාර්යාලයට පැමිණ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළ සම්පූර්ණ වාර්තාව ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

සංචාරක ව්‍යාපාරයට වජිරගෙන් තල්ලුවක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය සෙනසුරාදා දිනය පුරාම ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින් මුණ ගැසෙමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඇති අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට කටයුතු කළේය.

විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයින් මුණ ගැසෙමින් සංචාරක කර්මාන්තයේ පැන නැගී ඇති ගැටලු සොයා බලමින් ඒවාට විසඳුම් සොයාදීමට වැඩි ඉඩකඩක් වජිර මෙහිදී වෙන් කර තිබුණි.

“මේ දිනවල ලංකාවට විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙමින් තිබෙනවා. මට ආරංචි විදිහට නම් මුහුදු තීරයේ තිබෙන සියලුම හෝටල්වල කාමර බුක් වෙලයි තිබෙන්නේ.

පසුගිය කාලය පුරාම විවිධ හේතුන් නිසා සංචාරකයින් අපේ රටට පැමිණියේ නැහැ. කොවිඩ් වසංගතය නිසා වෙන්න පුළුවන්, එහෙම නැත්තම් රටේ තිබුණු වෙනත් ගැටලු නිසා වෙන්න පුළුවන්, කොහොම නමුත් මේ වනවිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තිබෙන්නේ. අපි මේ තත්ත්වය මේ විදිහටම පවත්වාගෙන යන්න ඕන. ඒ සඳහා ඔබතුමන්ලටත් විශාල වැඩ කොටසක් කරන්නට තිබෙනවා. මොකද අපි අපේ රටට එන සංචාරකයින්ට හොඳ විදිහට සැලකුවොත් තමයි අපේ සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ.“

වර්ජනවලට කළ යුතු දේ වජිර කියයි

මම දැක්කා ඇමතිතුමා පසුගිය දිනවල පුවත්පත්වල තිබෙනවා, නැවත වරක් රටපුරා වර්ජන රැල්ලක් ආරම්භ කරනවා කියලා.

එහෙම උනොත් නැවත වරක් රට පරණ තත්ත්වයට පත්වෙයි කියලා අපිට ලොකු බයක් තිබෙනවා. අපිට මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැහැ. අපේ පවුල්, අපේ දරුවෝ මේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මේ සංචාරක ව්‍යාපාරය නිසා.

ඒ නිසා මේ සම්බන්ධයෙන් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි නේද ඇමතිතුමා?”

“අද අපේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත හිස ඔසවමින් තිබෙනවා. සංචාරකයින් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණ තිබෙනවා අපට මේ දිනවල දැකගන්නට පුලුවන්.

අද වනවිට ඩොලරයේ මිල පහත වැටී රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ හේතුව මත භාණ්ඩ හා සේවා මිල පහත වැටී උද්ධමනය විශාල වශයෙන් අඩු වෙලා තිබෙනවා.

කෙසේ වුවත් මේ දේවල් දරා ගත නොහැකි පිරිසක් අපේ රටේ සිටිනවා. ඔවුන් හැමවෙලාවෙම උත්සාහ කරන්නේ මේ ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කරලා නැවත වරක් රට අරාජික කිරීමටයි.

රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරමින්, සංචාරකයින්ට බාධා කරමින් රට ඉදිරියට යාම වැළැක්වීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ජනතාව මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. පටු දේශපාලන වාසි වෙනුවෙන් රට නැවත වරක් අනතුරේ දමන්න එපා.

ඇත්තවශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා වේගයෙන් රට ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයමින් සිටිනවා. මේ කටයුත්තෙදී එතුමා විපක්ෂයේ සහයෝගය තවදුරටත් බලාපොරොත්තුවන බවත් ප්‍රකාශ කළා.

මෙය ඉතාමත් වැදගත් පණිවිඩයක් හැටියටයි මම දකින්නේ. මං හිතන්නේ ඉතාම නරක තැනකට වැටී තිබුණු රට, ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් තැනකට ගෙන ඒම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඉතින් මහජනතාව වශයෙන් අපි ඒ ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් නොකළ යුතුයි. යම් කෙනෙක් ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා නම් ඊට එරෙහිව රටේ මහජනතාව වශයෙන් ඔබ හඬ නැගිය යුතුයි. ඉදිරියට ඇවිත් එහෙම කරන්න එපා කියා ප්‍රකාශ කළ යුතුයි.

ඔබ එසේ නොකියනවානම් ඔබටත් රටටත් අනාගතයක් නොමැති වේවී,” යැයි වජිර ඔහුට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේය.

පුවත යවන්න