’’මෛත්‍රීපාල පක්ෂයෙන් පැන්නිය යුතුයි’’ – චන්ද්‍රිකා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා සිය පියා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවයි ඇය සදහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වන හෙයින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිවිටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ  කළ ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇහුම්කන් නොදුන් බවත් එම ඉල්ලීම   නිසා  තමා පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවත් කුමාරතුංග මහත්මිය පැවසුවා.

හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය,

“බොහොම කනගාටුයි. මම දන්නේ නෑ අඬන්නද? හිනා වෙන්නද? කියලා. මම රටේ ආර්ථිකය විශාල වශයෙන් හැදුවා…යුද්ධය භයානක ලෙස පැවති අවස්ථාවක. 

“එක්කෙනෙක් දන්නේ නැහැ.. අනිත් කෙනා කියන දේ. උදේ කියන එක හවස වෙනස් වෙනවා. මහා අවුලක්.” 

මාධ්‍යවේදියා – “ඔබතුමිය හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය?”

හිටපු ජනාධිපතිනිය – “මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි පක්ෂය විනාශ කරලා ඉවරයි.”

මාධ්‍යවේදියා – “මෛත්‍රීපාල මහත්තයා දැන් ආණ්ඩුවෙන් යනවයි කියන එක කියනවා නේද?”

හිටපු ජනාධිපතිනිය – “මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා.. පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න එපා කියලා. අපි විනාශ වෙනවා කියලා. එහෙම කිව්වා කියලා මාව දේශපාලන මණ්ඩලයෙන් අයින් කරලා.. මගේ සංවිධායක ධුරයත් අයින් කළා. අපි අවුරුදු ගාණක් තිස්සේ කියපුවා දැන් එයා කියනවා. ඉතින්, මේ මිනිහා පන්නන්න එපැයි.” 

පුවත යවන්න