රටේ ආයතන වැඩියි / නාස්තිය ඉහළයි – මන්ත්‍රී පාඨලී

රටේ එක් වැඩකට  එක් ආයතනයක් පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත් බව  සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය.

පොල් කර්මාන්තයේ සංවර්ධනයට පමණක් රටේ ආයතන තුනක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර  කියැවීමේ විවාදයේදීය.

සියලුම දේ පෞද්ගලීකරණය කිරීමෙන් ලාභ ඉපැයිය හැකි යැයි  තමා විශ්වාස නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා මෙරට රාජ්‍ය ආයතන කළමනාකරණය කළ යුතු බවද සඳහන් කළේය.

රටේ රාජ්‍ය ආයතන දහසක් පමණ ඇතැයිද ඔහු කීවේය.

පාඨලී චම්පික රණවක  මෙසේද සඳහන් කළේය.

” එක් වැඩකට එක් ආයතනයක් ලෙස ආයතන ගණන අඩු කළ යුතුයි. පොල් සංවර්ධනයට ආයතන තුනක් තිබෙනවා. ඒ වගේ ආයතන ගණනාවක්  රටේ  තිබෙනවා. විධිමත් කළමනාකරණ විගණනයක් කළොත් මේ ආයතන තුනෙන් එකකට අඩු කළ හැකියි.

“මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා යනවා. ඒ සඳහා ඇතුළුවීමට වසරක් දෙකක් ගත විය හැකියි. ඒ කාලය තුළ ආර්ථික කළමනාකරණය සඳහා මූල්‍ය අරමුදල නොවන විකල්ප මඟක් සොයා ගත යුතුයි.”

පුවත යවන්න