ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායයන් (SOEs) වෙතින් රටේ ආර්ථිකයට එකතු වන සීමිත වටිනාකම් හේතුවෙන් බදු ගෙවන ජනතාව මත විශාල බරක් පැටවී ඇති බව රහසක් නොවේ.
එබැවින්, ඒ අතුරින් තෝරාගත් පාඩු ලබන ව්‍යවසායන් සංඛ්‍යාවක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත්, එමඟින්, ඒ වෙනුවෙන් යෙදවෙන රටේ බදු ආදායම් ඉතිරි කරගැනීමට හැකි බවත් රජය විසින්ම පෙන්වාදෙමින් සිටියි. විශේෂයෙන්, 2022 වසර ආරම්භයේදී ආරම්භවූ සීඝ්‍ර ආර්ථික පරිහාණිය හමුවේ ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඉල්ලා සිටීමෙන් අනතුරුව, IMF වෙතින් මූලිකවම ඉදිරිපත් කෙරුණු නිර්දේශයන් අතර ප්‍රධාන කාරණයක් වූයේද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායහි මූල්‍ය අවදානම අවම කර ගැනීමයි.
“සැළකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතුය,” IMF විසින් 2022 මාර්තු 25 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ, රට මුහුණ දෙන ගැටලු විසඳාගැනීම සඳහා වූ ප්‍රධාන නිර්දේශයන් අතර පළමුවැන්නෙහි එසේ සඳහන් වෙයි.
IMF නිර්දේශය මොකද්ද?
ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම IMF ණය වැඩසටහනක් සමග 17වැනි වතාවටත් එක්වන බව 2022 අප්‍රේල් මාසයේදී තීරණය කිරීමෙන් අනතුරුව, රජය සතු පාඩු ලබන ව්‍යවසායයන් කෙරෙහි පවතින අවධානය වඩාත් ඉහළ ගියේය.
2022 සැප්තැම්බර් 05 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් පාඩු ලබන රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකයක්’ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගන්නේ ඒ අනුවය.
“රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි කාර්ය සාධනය දීර්ඝ කාලයක් තිස්සේ සතුටුදායක තත්ත්වයක නොපවතින අතර, ඇතැම් ව්‍යාපාර විවිධ හේතුන් මත අඛණ්ඩව පාඩු ලබමින් පවතියි. මෙම තත්ත්වය මහා භාණ්ඩාගාරය වෙත දැඩි පීඩනයක් ඇති කිරීමට හේතු වී ඇති බැවින් එවැනි ව්‍යාපාර කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් හඳුන්වාදිය යුතුව තිබේ. ඒ අනුව, මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවමකර ගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමත්, රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීමත් අරමුණු කරගෙන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මඟපෙන්වීම සහ සහායවීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී,” යි එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.
එම ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පවත්වන්නේ පසුගිය මාර්තු 20 වැනිදා පස්වරුවේ IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ ඩොලර් බිලියන 2.9ක ණය මුදල අනුමත කිරීම යි.
ඊට සමගාමිව IMF විසින් මෙම ණය වැඩසටහන යථාර්තයක් බවට පත්කරගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත නිර්දේශ හා කොන්දේසි 10ක් යළි ඉදිරිපත් කළේය. ඒ අතර පවතින ප්‍රධාන නිර්දේශයක් වන්නේ රජයේ වියදම් අඩු කරගැනීම වෙනුවෙන් මහා පරිමාණයෙන් පාඩු ලබන රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි.
එම නිර්දේශයන්ට අනුව කටයුතු කරන බව, අදාළ මොහොතේම ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කෙරිණි.
මොනවද මේ ආයතන?
ජනාධිපති මාධ්‍ය අංශය එහිදී අනාවරණය කළ ආකාරයට, ශ්‍රී ලංකාව විසින් වහාම ක්‍රියාත්මක වන ආකාරයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මාර්ග සංවර්ධන අධිකාරියෙහි ශේෂපත්ර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගන්නා අතර, රජය සතු ව්‍යවසායන්ගේ ශේෂ පත්‍රවල ‘ස්වෛරි සහතික විදේශ විනිමය ණය’ රජයට පවරනු ලැබේ.
ඉන් අනතුරුව පසුගිය 22වැනිදා පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඉහත කී ආයතන හතරෙහි නම් විශේෂයෙන් සඳහන් කරමින්, ඒවා අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කරන බව අවධාරණය කළේ ය.
ඊට පසුදින, එනම් මාර්තු 23 වැනිදා ජනාධිපතිවරයා යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්, රජය විසින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ නවතම තොරතුරු යාවත්කාලීන කළේය.
එම නිවේදනයට අනුව, රාජ්‍ය ව්‍යවසායන් හතක රජය සතු කොටස් අයිතිය පැවරීමට මාර්තු 13වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ප්‍රකාශ කෙරිණි. එම රාජ්‍ය ව්‍යවසායන් වන්නේ;
- ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම
- ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී.
- සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
- කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
- හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
- සී/ස ලිට්රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්රෝ ගෑස් ලංකා සමාගම
- ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.
පෙරකී, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් ඉහත සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ලබන අතර, එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටි කාලයකින් ආරම්භ කරනු ඇති බවද එමගින් නිවේදනය කර ඇත.
එසේම එම උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයීම් හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් එම ව්‍යපාර බැහැර කිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය ව්‍යාපාරවල රජයේ කොටස් අලෙවි කිරීමට අදාළව කැමැත්ත පළකිරීමේ නිවේදනය හා යෝජනා කැදවීමේ නිවේදන ක්‍රියාවලිය සඳහා දේශීය හා අන්තර්ජාතික මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට නියමිත බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව රජය විසින් වෙනමම ද නිවේදනය කෙරිණි.
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අදාළ ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී තිබෙන බව රජයේ ප්‍රකාශකයන් උපුටා දක්වමින් දේශීය ජනමාධ්‍ය වාර්තා කළේ ය.
මෙම ආයතන අතුරින් ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50%ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතියි. ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.
පාඩුව රුපියල් බිලියන 859ක්…
ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන්ගේ කාර්යසාධනය සෑම වසරකම ගණනය කෙරේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් අවසන් වරට මෙරට රජය ප්‍රධාන ව්‍යාපාර 52ක් සම්බන්ධයෙන් සිදුකරන ලාභය ගණනය කිරීමට අනුව, හඳුනාගත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක් විසින් 2022 වසරේ පළමු මාස හතර තුළ පමණක් ලබා ඇති පාඩුව රුපියල් බිලියන 859ක් ලෙස සටහන්ව ඇත.
ඉන් අදහස් කෙරෙන්නේ මෙම ආයතන 52කම පාඩු ලබා ඇති බවක් නොවේ. මෙම පාඩුවට සිදුව ඇත්තේ ආයතන 19ක් වෙතිනි.
අවසානයේ, ආයතන 52 සමස්ත ලාභාංශ ගණනය කිරීමේ දී අනෙක් ආයතන 31න් ලබා ඇති ලාභය ඉක්මවා යමින් අදාළ ආයතන 19 ලබා ඇති පාඩුව හේතුවෙන්, මෙම ආයතන සියල්ලේ සමස්ත පාඩුව රුපියල් බිලියන 859ක් ලෙස මෙලෙස සටහන්ව ඇත.
2022 ජූනි 30 වැනි දින නිකුත් කරන ලද මෙම ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට’ අනුව අදාළ ආයතන 19 අතුරින් වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යි. එම පාඩුව රුපියල් බිලියන 628කි (මෙය රජය විසින් නිල වශයෙන් අවසන් වරට ප්‍රසිද්ධ කර ඇති මාස හතරකට අදාළ වාර්තාවක් වන අතර, අවසන් මූල්‍ය වර්ෂයේ සමස්ත පාඩුව ගණනය කිරීම සඳහා තවත් මාස නවයකට අදාළ පාඩු සිදුවීම් මෙම සංඛ්‍යාවන්ට ඇතුළත් විය යුතුය).
ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අමතරව:
- ශ්‍රී ලංකන් ගුවන් සේවය: රුපියල් බිලියන 248ක්
- ලංකා විදුලි බල මණ්ඩලය: රුපියල් බිලියන 47ක්
- ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම: රුපියල් බිලියන 06ක්
- ලංකා ගමනාගමන මණ්ඩලය: රුපියල් මිලියන 599ක්
- ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය: රුපියල් මිලියන 483ක්
- රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව: රුපියල් මිලියන 215ක්
- මිල්කෝ පෞද්ගලික සමාගම: රුපියල් මිලියන 131ක්
- ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව: රුපියල් මිලියන 125ක්
- ස්වාධීන රුපවාහිනී ජාලය: රුපියල් මිලියන 102ක්
වශයෙන් 2022 පළමු මාස හතර ඇතුළත පාඩු ලබා ඇත.
ලාභ ලබන ආයතනත් විකුණනවද?
කෙසේවෙතත් අදාළ වාර්තාවට අනුව දැනට මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2022 පළමු මාස හතර ඇතුලත රුපියල් බිලියන නවයක ලාභයක් වාර්තා කර ඇති අතර, හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය) රුපියල් මිලියන 52ක පාඩුවක් ලබා ඇත.
රජය නම්කර ඇති අනෙක් ආයතන වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී. සහ කැන්විල් හෝල්ඩින්ග්ස් (පෞද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්) අදාළ ආයතන 52හි ලාභාංශ ගණනයට ඇතුළත් කර නැත.
ශ්‍රී ලංකාව සතුව රාජ්‍ය ව්‍යවසායට අයත් ආයතන 400කට වැඩි සංඛ්‍යාවක් පවතියි. ඒවායින් විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන යන්නේ පාඩුපිට බව රහසක් නොවේ. මින් බොහෝ ආයතන පාඩු ලබනවාද නැද්ද යන්න පවා සෙවීමට නිසි අධ්‍යයනයන් සිදුකෙරෙන්නේ නැත. මේ නිසා ආයතන බහුතරයක්ම ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ක්‍රියාවලියට යොමුකළ යුතුව තිබේ.
ඇතැම් ආයතන ඒකාබද්ධ කිරීම, සමහරක් ආයතන පෞද්ගලිකරණයට ලක්කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළකට යෑම, විදුලිය සහ තෙල් ආදියට තරගකාරි අවස්ථා ලබා දීම, ආයතන අමාත්‍යාංශ මට්ටමින් බැහැර කරවීම මෙන්ම වියදම් අඩු කිරීම ඇතුළු ක්‍රමවේදයන් රැසක් භාවිත කරමින්, පොදුවේ ‘ප්‍රතිව්‍යුහගතකරණය’ ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැකිය.
දැන් රජය මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් යන ආයතන ද්විත්වය සමගිනි. එහෙත් මෙම ආයතන දෙකම පාඩු ලබන ව්‍යවසායන් නොවේ. එසේ නම් රජයේ මෙම ප්‍රවේශය පැහැදිලි කරගත හැක්කේ කෙසේ ද?
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වන්නේ, ඇඩ්වොකාටා ආයතනයේ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු ය.
“මේ ආයතන දෙකම පාඩු ලබන ඒවා නෙමෙයි. මේ ආයතන දෙකම කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරලා තියෙන්නේ. වැඩිපුර කොටස් ප්‍රමාණයක් රජයට අයිතියි. රජය මෙතැනදී වෙළඳපොළට සිග්නල් එකක් දෙනවා, අපි ප්‍රතිසංස්කරණ කරන්න ලෑස්තියි කියලා.
“රජය ව්‍යාපාරවලට මැදිහත්වීම හොඳ දෙයක් නෙමෙයි. ඒකට පෞද්ගලික අංශය කැමති නැහැ. උදාහරණයක් විදිහට රජයයි, පෞද්ගලික අංශයයි ටෙලිකොම් ආයතන පවත්වාගෙන යන අවස්ථාවක, ඕනෑම වෙලාවක රජයට ලාභදායී සහ පෞද්ගලික අංශයට පාඩුවෙන ආකාරයෙන් නීතිරීති ගෙන්න පුළුවන්. රජය ව්‍යාපාර කළයුතු නැහැ කියල මම හිතන්නේ ඒ පදනමින්.
“රජය සතු ඇතැම් සමාගම් හෝ බැංකු ලාභ ලබනවා තමයි. හැබැයි ඒක සළකා බලන්න ඕනේ පවතින සම්පත් ප්‍රමාණයත් එක්ක. ඔබ මිලියනයක ඉඩමක් ආයෝජනය කරලා රුපියල් දාහක් ලාභ ලබනවා කියල හිතන්න. මගේ ළඟ තියෙන ඉඩම මිලියන දෙකක් වටිනවා. මම ඒ ඉඩම ආයෝජනය කරලා රුපියල් එක්දාස් පන්සියක් ලාභ ලබනවා. එතැනදී මට කියන්න බැහැ මගේ ලාභය ඔබේ ලාභයට වඩා වැඩියි කියලා. මොකද මගේ එක්දාස් පන්සීයක ලාභය ලබාගන්නේ මිලියන දෙකකට. ඔබ දාහක් ගන්නේ මිලියනයකට. ඔබට මිලියන දෙකක් තිබුණ නම්, ඔබේ ලාභය දෙදාහක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තොත්, ආයතනය සතුව තියෙන සම්පත් ප්‍රමාණය හිතාගන්නවත් බැහැ. හැබැයි එහෙම තිබිලත් ලාභ ලබන්නේ නැහැ. ඒ නිසා ලාභය විතරක් බලලා ආයතනය ගැන තීරණය කරන්න බැහැ.”
ප්‍රතිව්‍යුගතකරණය කළ යුත්තේ කෙසේද?
මෙලෙස තෝරාගන්නා ව්‍යාපාර කොටස් වෙළඳපොළට යොමුකර ක්‍රමවේද කිහිපයක් යටතේම ප්‍රතිව්‍යුහගතකරණය කළහැකි බව ධනනාත් ප්‍රනාන්දු පෙන්වාදෙයි.
“මේ වගේ ව්‍යවසායන් කොටස් වෙළඳපොළේ විකුණන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයකදී මට බහුතර කොටස් තියෙනවා නම්, මම හොයාගන්නවා ගැනුම්කරුවෙක්. කොටසක ගාණ නියම කරලා සෘජුවම අලෙවි කරනවා. ඒත් එක්කම කොටස් වෙළඳපොළට ගනුදෙනුව ගැන දැනුම්දෙනවා. එතකොට හෙට ඉඳන් කොටස් ටික අලුත් ගැනුම්කරුගේ නමින් තියෙන්නේ.
“දෙවැනි ක්‍රමය යටතේ, ගැනුම්කරුවා කොටස් සියල්ල මිලදීගත යුතුයි. නැත්නම් එකක්වත් නොගෙන ඉන්න ඕනේ. එතකොට ගැනුම්කරුවන් පිරිසකට ලංසු ඉදිරිපත් කරන්න පුළුවන්. එතැනදී වැඩිම ලංසුවට විකුණන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සමාගමේ කොටස් ටික සාමාන්‍ය විදිහට කොටස් වෙළඳපොළට දැමීම. එතකොට කැමති කෙනකුට විවිධ මිල ගණන් යටතේ කොටස් මිලදී ගන්න පුළුවන්.”
මීට පෙර ශ්‍රී ලංකාවේ සිදුකළ සීමිත, ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් කිහිපයක්ම අසාර්ථක වී ඇත්තේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙනි.
එසේ නම් නව වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් රජය කෙසේ කටයුතු කළ යුතු ද? ධනනාත් ප්‍රනාන්දු පවසන්නේ පාරදෘශ්‍යභාවය මෙහිදී අතිශය වැදගත් බව යි.
“මේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම විනිවිදභාවයකින් කරන්න ඕනේ. එහෙම නොකළොත් මූල්‍ය අරමුදලත් එක්ක ආරම්භ කරලා තියෙන වැඩසටහන අර්බුදයට යනවා. ඒ වගේම ඉදිරි ප්‍රතිසංස්කරණ සියල්ලත් ගැටලුවලට මුහුණදෙනවා. අතීතයේ දී මේ වගේ පෞද්ගලික අංශයට පැවරීම් නරක ආකාරයට කරපු නිසා, ජනතාව අතර විශ්වාසය නැතිවෙලා තියෙනවා. මිනිස්සු හිතන්නේ මේකෙනුත් ගාණක් ගහගන්න බලනවා කියලා.
“මෙතැනදී වැදගත්ම දේ තමයි පාරදෘශ්‍යභාවයකින් මේ කටයුතු කරන එක. නැත්නම් ඇමතිවරයා දන්නා කෙනෙක් අරගෙන ඇවිල්ලා, රුපියල් සීයක් වටිනා කොටස රුපියල් අසූවට අරගෙන, ඒකෙන් ගාණක් ඇමතිවරයාට දෙන්න ගියොත් මේ වැඩේ අවුල් වෙනවා.”
සේවකයින්ට අසාධාරණයක් වෙයිද?
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණයේදී ඒවායේ රැකියා අවදානමට ලක්වීම වැලැක්වීම සඳහා ක්‍රමවේද කිහිපයක් අනුගමනය කළහැකි බව ද ධනනාත් ප්‍රනාන්දු සඳහන් කරයි.
“සේවක ගැටලුව හොඳින් විසඳන්න පුළුවන්. ටෙලිකොම් ආයතනයේ පළවෙනි වතාවේ ඒ වැඩේ ලස්සනට කළා. එතැනදී කොටස් යම් ප්‍රමාණයක අයිතිය සේවකයන්ට ලබාදුන්නා. එතකොට ආයතනය ලාභ ලබනකොට සේවකයන්ටත් ලාභාංශ බෙදෙනවා. කැමති අයට ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් යටතේ වන්දියක් ලබාදීලා අයින්වෙන්න කිව්වා. එතකොට ඒ අයට වෙන රස්සා හොයාගන්න පුළුවන්.
“විශාල ලෙස පාඩු ලබල තියෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වගේ තැන්වලදී අලුත් ආයෝජකයා එක්ක ගිවිසුම්ගත වෙන්න පුළුවන් ‘සේවකයන් අස්කරන්න බැහැ’ වගේ කොන්දේසි එක්ක. නැත්නම් වසර කිහිපයක් ලබාදෙනවා, ක්‍රමානුකුලව අතිරික්ත සේවකයන්ට ඉවත්වෙන්න. සමහර ආයතනවල දී, වඩාත් වාසි සැලසිලා තියෙනවා. ටෙලිකොම් ආයතනයෙන් සේවකයන්ට තිබුණටත් වැඩිය පඩි හම්බ වුණා. හැබැයි එතැන දී අනිවාර්යයෙන්ම සේවක කාර්යක්ෂමතාව වැඩිකරනවා.”
ඇතැම් ආයතන රජය විසින් ඒකාධිකාරයන් ලෙස දැවැන්ත පාඩුපිට පවත්වාගෙන යන්නේ ඒවා පෞද්ගලික පාර්ශ්වයන්ට පැවරීම ඔස්සේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන බව පෙන්වදෙමිනි. එහෙත් එම තර්කයට පදනමක් නොමැති බව ධනනාත් ප්‍රනාන්දු පෙන්වාදෙයි.
“මම නම් හිතන්නේ ඒකාධිකාරයක් තියාගෙන ඉන්න එක තමයි ජාතික ආරක්ෂාවට තියෙන ප්‍රබලම බලපෑම. ඛනිජතෙල් නීතිගත සංස්ථාව රජය යටතේ තිබුණට, අන්තිමට තෙල් නැතිවෙන තත්වයටම පත්වුණානේ. කවුරුහරි පිටින් යුද්ධ කරන්න ආවා නම්, අපිට යුද්ධ කරන්න, යුද්ධ ටැංකියකට තෙල් ගහගන්නවත් තෙල් නැතිවෙන තත්වයකට ආවනේ. ජාතික ආරක්ෂාවට වැදගත් වෙනවා නම්, ආයතනය හොඳට දුවන්න එපැයි. ඒ තර්කය ඒ තරම් ගැලපෙනවා කියල මම හිතන්නේ නැහැ.
“වෙන රටවල ‘තරගකාරීත්ව කොමිසම’ කියල එකක් තියෙනවා. එතකොට, තරගකාරීත්වයට බාධා වෙන විදිහට ව්‍යවසාය ලබාගන්න බැහැ. උදාහරණයක් විදිහට, ටෙලිකොම් ආයතන කිහිපයක් තියෙනවා. මගේ ආයතනයේ වෙළඳපොල කොටස 50%ට වැඩියි. දෙවනියට ඉන්න ඔබේ ආයතනයේ වෙළඳපොළ කොටස 15% යි. අනිත් පිරිසට පොඩි ගණන්වලින් කොටස් ප්‍රමාණ බෙදිලා ගිහින් තියෙනවා. හැබැයි, ඔබ මට ඔබේ ආයතනය විකුනන්න කැමති වුණත් පළවෙනිය විදිහට මට ඒක මිලදී ගන්න බැහැ. මොකද, ඒකෙන් තරගකාරීත්වයට බාධා වෙන නිසා. ඇත්තටම වෙළඳ අමාත්‍යංශයෙන් සිදුකළ යුත්තේ ඒක තමයි. තරගකාරීත්වයට බාධාවෙන ගනුදෙනු සිදුකිරීමට තියෙන ඉඩ වළකනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එහෙම තමයි කළමනාකරණය කරන්න ඕනේ.”
ධනනාත් ප්‍රනාන්දු අවසන් වශයෙන් පෙන්වාදෙන්නේ, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් කඩිනමින් විනිවිදභාවයෙන් යුතුව ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් IMF ණය වැඩසටහනට මෙන්ම ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජකයන් පැමිණීමටද බලපෑම් එල්ලවන බවයි.
“මූල්‍ය අරමුදල විසින් අපිට ඉලක්කයක දීලා තියෙනවා ආදායමයි වියදමයි අතර තබාගතයුතු පරතරය සම්බන්ධයෙන්. මේ පවතින විදිහටම ආයතන පවත්වාගෙන ගියොත් ඒ ඉලක්ක සපුරගන්න බැරිවෙනවා. එහෙම වුණොත් IMF ණය මුදලේ ඊළඟ කොටස් ලබාගන්න අතරමඟ දී අඬ අඬ ඉන්න වෙනවා. ණය ස්ථාවර නැති නිසා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම්වලටත් බලපානවා. මෙතැනදී විනිවිදභාවය සුරකින එක ඉතාම වැදගත්. මේවා වංචාසහගත අරමුණකින් කරනවා කියල තේරුණොත්, ඒක ආයෝජකයන්ටත් හොඳ නැහැ. ඊට පස්සේ ආයෝජකයෝ එන්නේ නැහැ. මූල්‍ය අරමුදලේ විශ්වාසයත් කඩවෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය සද්භාවයෙන් කරන එක ඉතාම වැදගත්.” – BBC