විල්පත්තු කල්ලාරු රක්ෂිතයේ හානියට පත් වනාන්තර වෙනුවට වනාන්තර නැවත වැවීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට රුපියල් කෝටි 107.5ක් ගෙවන ලෙසට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පත් කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ. එම නිර්දේශ පසුගියදා නීතිපතිවරයාට සහ හිටපු අමාත්‍ය බදියුදීන් වෙත යොමු කර ඇත.
මේ ගැන අප සමඟ අදහස් දැක්වූ නඩුව පැවරෑ පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ: නැවත වනාන්තර වගා කිරීමට මිලියන 1076ක් ගෙවන්න යැයි නියම කර තිබෙනවා. නඩු තීන්දුව ප්‍රකාරව එම ඇස්තමේන්තුව ලැබී මාසයක් තුළ රජයට ගෙවිය යුතුයි. අපට නම් මෙම ඇස්තමේන්තු වාර්තා කිසිවක් එවලා නෑ. ආරංචි ලෙස ඔවුන් අභියාචනයක් ගොනු කර තිබෙනවා. එහෙම වුණොත් අපිත් එම අභියාචනයට මුහුණදීමට සූදානම්. අපි විශ්වාස කරනවා නීතියේ සාධාරණය ඉටුවේවි කියලා.
වනාන්තර නැවත සිටුවීම ලේසි වැඩක් නොවෙයි. කාලයක් තිස්සේ නිර්මාණය වූ වනාන්තරනෙ මේ කපා දාලා තිබෙන්නේ. විවිධ පැළ වර්ග රෝපණය කර ඒවා අවුරුදු ගණනාවක් යන තෙක් රුක බලාගත යුතුයි
පසුගිය කාලයේ රටම ආන්දෝලනයට පත් කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් අනවසරයෙන් එළිපෙහෙළි කර නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබුණි. විත්තිකාර බදියුදීන් එම වියළි කලාපීය වනාන්තර පද්ධතියට කරන ලද හානිය ප්‍රකෘතිමත් කිරීමට තම පෞද්ගලික වියදමෙන් රජයට වන්දි ගෙවිය යුතු බව අධිකරණ නියෝගයේ සඳහන්ය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පසුගිය සමයේ විනාශ වූ වනාන්තර ප්‍රමාණය ගණනය කළහ. ඒ අනුව හෙක්ටයාර් 825ක භූමියක් එළිකර ඇතැයි හෙළි විය. එම භූමි ප්‍රමාණයේ නැවත වනාන්තර නිර්මාණයට මෙම මුදල ඇස්තමේන්තු කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ පවසන්නේ වියළි කලාපයේ වනාන්තර අක්කරයක් වැවීම සඳහා රුපියල් ලක්ෂ 10ක්වත් වැයවන බවයි. අවම වශයෙන් අක්කරයකට විවිධ ගස් වර්ග 800ක්වත් සිටුවිය යුතු බවත් එසේ රෝපිත ගස් අවුරුදු හතක් දක්වාවත් නියඟයෙන් සහ සතුන්ගෙන් රුක බලාගත යුතු බවත් පරිසරවේදීහු පවසති.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද උතුරු අභය භූමිය, මාරචුක්කඩි, තරඩිකුලි රක්ෂිත වනාන්තර ප්‍රදේශ, විල්පත්තුවේ බටහිර කොටසේ කැබලි ii සහ iv කොටස්, මඩු පාර අභය භූමියේ වන සංකීර්ණය හා මඩු පාර රක්ෂිතය යන වනාන්තරවල බිම්කොටස් එළි කර තිබුණි.
පසුගිය නොවැම්බර් 16දා මෙරට පරිසර නීති ක්ෂේත්රයේ කඩයිමක් සනිටුහන් කළ එම නඩු තීන්දුව ලබා දුන්නේය. පරිසර යුක්ති කේන්ද්‍රය වර්ෂ 2015 දී අභියාචනාධිකරණයේ පැවරෑ රිට් පෙත්සමක් මගින් ඉල්ලා සිටියේ විල්පත්තු වනෝද්‍යානයට යාබද මරිච්චිකට්ටු – කල්ලාරු වනාන්තරවල නැවත ජනතාව පදිංචි කිරීමේ මුවාවෙන් කළ වනාන්තර හානියට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව වර්ෂ පහකට පසු එහි තීන්දුව ලැබුණි. මෙම පෙත්සම විභාගයට ගෙන අවසන්ව එහි තීන්දුව ලබාදීමට නියමිත වූයේ 2019 අගෝස්තු 6දාය. අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණ විනිසුරුවරයා, ප්‍රතික්ෂේප කළ අතර මේ නිසා නඩුව යළිත් මුල සිට විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ නියම කළේය.
මෙසේ වනාන්තර එළි කර නැවත පදිංචි කිරීම නීති විරෝධී බව අධිකරණ තීන්දුවෙන් පැහැදිලි විය. නඩු තීන්දුව ලබා දුන්නේ ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසිනි. වගඋත්තරකරුවන් සඳහන් කර තිබුණේ රජය අවතැන්වූවන් පදිංචි කිරීමට තීරණය කර තිබුණේ උගත් පාඩම් හා ප්‍රති සංහිඳියා ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලින් පසුව බවත්, එය මෙරට හා ජාත්‍යන්තර නීතියට අනුකූල බවත්ය. අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව රක්ෂිත වනාන්තරවල වන සංරක්ෂණ පනත උල්ලංඝණය කරමින් සරණාගතයන් පදිංචි කර ඇති බව පැහැදිලිව ඔප්පු විය.
ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශවලට අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ හෙක්ටයර් 66ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ හෙක්ටයර් 154ක්ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෙක්ටයර් 400ක්ද, අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයර් 200ක්ද වනාන්තර නිර්මාණය කළ යුතු වේ.
මන්නාරමේ නැවත එළි කළ ඉඩම් දැන් නැවත කැලෑවට යට වී ඇති නිසා ඒවායේ යළිත් වනය වැවීම වෙනුවට එම කැලෑව වර්ධනය වීමට ඉඩ දීමට තීරණය කර ඇති බව පෙනේ.
උතුරේ වනාන්තර කැපීමට එරෙහිව කෝටි සිය ගණන් වන්දි නියම වන අතර දකුණේ වනාන්තර ද ඩෝසර් කිරීම් ගැන නිතර ආරංචි ලැබේ. පසුගියදා වාර්තා වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාන්තර ඉඩම් එළිකිරීම නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවකි.
කුසුම්සිරි විජයවර්ධන – Deshaya