රුපියලේ වටිනාකම නැතිවීමේ අවදානමක්

තීව්‍ර උද්ධමනයත් සමඟ ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ගණන් දිනපතාම පාහේ නොසිතූ විරූ ලෙස ඉහළ යමින් පවතියි.

වසරකට පෙර රුපියල් 121කට පැවති පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 දක්වා ඉහළයෑමත්, රුපියල් 12කට පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළයෑමත් මෙය මනාව පෙන්වා දෙයි.

මෙය ඉන්ධන හා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළයෑමට පමණක් නොව තවත් අර්බුද ගණනාවක් නිර්මාණය කිරීමට මුල්වනු ඇතැ යි ආර්ථීක විශේෂඥයෝ පෙන්වා දෙති.

උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

ජුනි මාසය වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය 54.6% දක්වා ඉහළගොස් තිබේ.

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ මෙය රටක් බංකොලොත්භාවයට ලක්වීමේ ලකුණක් බව යි.

“රටක් බංකොලොත් වෙනකොට ඒකෙ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමා දරන්න බැරි තරමකට උද්ධමනයක් ඇති වෙනවා. ඒ කියන්නේ හයිපර්ඉන්ෆ්ලේෂන් එකට යනවා. තීව්‍ර උද්ධමනයක්. ඊළඟට අධි උද්ධමනයක්. අපි අත්විඳින්නේ තීව්‍ර උද්ධමනයේ මූලික අවස්ථා. ලංකාවේ ඉතිහාසයේ කවදාවත් මෙතරම් උද්ධමනයක් ඇවිල්ලා නැහැ. ජනවාරි මාසයේ සිට සෑම මාසයේම 10% – 15%කින් මිල මට්ටම් වැඩි වෙලා තියෙනවා.”

“මේ දේශීය සංඛ්‍යාලේඛන. ජනතාවට දැනෙන උද්ධමනය මීට වඩා වෙනස්,” මහාචාර්යවරයා පැවසුවේ ය.

ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන සැසඳීමේ දී මෙරට උද්ධමනය දෙවැනි වී තිබුණේ ලෙබනනයට යි. එම සංඛ්‍යාලේඛනයන්ට අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී උද්ධමනය 132%ක් ලෙස පුරෝකථනය කර තිබුණි. එය අද වන විට 150% -200% ආසන්න වී ඇතැ යි මාහාචාර්යවරයා සඳහන් කළේ ය.

අහාර මිල ගණන් සැසඳීමේ දී මීට වසරකට පෙර රුපියල් 50කට පමණ පැවති උළුඳු වඩේ එකක මිල මේ වන විට රුපියල් 100ක් දක්වා ඉහළ ගොස් ඇත.

රුපියල් 300 – 400කට අලෙවි වූ කුකුළු මස් කොත්තුවක මිල මේ වන විට රුපියල් 700 – 800ත් අතර තරම් ය.

පාරිභෝගිකයින්ට අනුව ෆ්‍රයිඩ් රයිස් එකක මිල ද ඊට නොදෙවැනි වන අතර, ආපන ශාලාවකින් එක් පුද්ගලයෙකුට ආහාරවේලක් ගැනීමට අඩුම තරමින් රුපියල් 500ක පමණ මුදලක් වැය වන බව ඔවුහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින්නේ දෛනික වැටුප් ලබන, මාසික වැටුප් ලබන හා කොළඹ හා තදාසන්න නගරවල නේවාසිකාගාරවල වෙසෙන ජනතාව යි.

මීට වසරකට පෙර සහල් කිලෝග්‍රෑම් 10ක් මිල දී ගත් මිලට අද මිලදී ගැනීමට හැකිවන්නේ හාල් කිලෝග්‍රෑම් 5ක් පමණි. සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබේ.

පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල පවතින්නේ රුපියල් 620 – 650ත් අතර ය. ඒ අනුව සාමාන්‍ය පවුලකට පාන් සහ පරිප්පු ආහාරයට ගැනීමටත් රුපියල් 500 – 750ක් අතර වියදමක් දැරීමට සිදුව තිබේ.

රුපියලේ පිළිගැනීම නැතිවෙයිද?

මෙවැනි වාතාවරණයක් තුළ රුපියලේ පිළිගැනීම නැතිවී යා හැකි බව මහාචාර්ය පෙරේරා කියා සිටියි.

“රටක උද්ධමනය වැඩිවීමත් සමග මුදලේ අගය වේගයෙන් ක්ෂය වී යනවා. රුපියලේ වටිනාකමන් නැහැ. ජනතාවට රුපියල ගැන පිළිගැනීමක් නැහැ. එක තැනකට ආවම මිනිස්සු රුපියල් පිළිගන්නේ නැතිව අයින් කරලා දානවා. ඔය කඩාවැටිච්ච රටවල දැක්කා සල්ලි මිටිගණන් මිනිස්සු විසික් කරනවා,” මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.

“රුපියල් 5000කට වටිනාකමක් අද නැහැනේ. අද රුපියල් 50ක් 20ක් කියන එක ප්ලෙන්ටියක් බොන්නවත් බැරි නිසා, වඩයක් ගන්නවත් රුපියල් 20කින් බැරි නිසා, ඒ දවස්වල අපේ තිබුණ සතය, රුපියල නැතිවුණා වගේ රුපියල් 10, 20, 50 ඔය ඔක්කොම නැතිවේගෙන යන තැනකට තල්ලුවෙනවා,” ඔහු පෙන්වා දුන්නේ ය.

“ඔහොම ගියාට පස්සේ ඩොලරයට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩිවෙනකොට අනිවාර්යයෙන් අපිට සිදුවෙනවා ලොකු වටිනාකම් තියෙන අලුතින් මුදල් නෝට්ටු ගේන්න. ඒ නිසා තමා සමහර රටවල ඩොලර් එකක් කියන්නේ මිලියන ගාණක් තමන්ගේ රටේ සල්ලිවලින්. ඒ තැනට අපි ගියොත් ජනතාව මුදල් ප්‍රතික්ෂේප කරනවා. එක්කෝ අපි අලුත් කරන්සි එකක් පටන් ගන්න ඕනේ, එහෙම නැත්නම් වෙන මුදල් විශේෂයක් අපි භාවිතයට ගන්න ඕනේ. ඔයිට ඉස්සෙල්ලා කතාවුණා ආසියාතික රටවලට පොදු රුපියලක් ගේන්න. ඔය වගේ ක්‍රමයකට යන්න වෙයි. ඒවා ටිකක් දිගුකාලීන යි.”

උද්ධමනයත් සමඟ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක

“මේ උද්ධමනයත් එක්ක මේ රටේ පරම්පරා ගණනාවක ජීවිතවලට මේක බලපානවා. මන්දපෝෂණ ජනගහණය වැඩි වෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනික තත්ත්වය පහළ වැටෙනවා. සෞඛ්‍ය පහළට වැටෙනවා,” මහාචාර්යවරයා පෙරේරා අප හා ප්‍රකාශ කළේ ය.

“උද්ධමනය කියන එක සරලව ගන්න හොඳ නැහැ. අපි හිතාගන්න බැරි විදිහට ජනතාව පීඩාවට පත්වෙනවා.”

ඔහු කියා සිටියේ පවතින තත්ත්වය ඉතුරුම් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇති බව යි.

“උද්ධමනයත් සමඟ තමා අපි බලන්නේ රටේ පොලී අනුපාතය. සාමාන්‍යයෙන් බැංකුවේ පොලී අනුපාතය උද්ධමනයට වඩා ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. නැත්නම් ඉතුරු කරලා වැඩක් නැහැනේ. අද බැංකු පොලී අනුපාතය උපරිම වැඩි කරලා 20% – 24% තිබුණත් උද්ධමනය 54% නම් අපි හැම මාසයේම අපේ ඉතුරුම්වලින් 30%ක් විතර සෘණ අගයක් වෙනවා. පොලී අනුපාත සෘණ වෙනවා. පොලී අනුපාත සෘණ වුණාම මිනිස්සු ඉතුරු කරන්නේ නැහැ. එක පැත්තකින් ඉතුරු කරන්න සල්ලි නැහැ. අනෙක් පැත්තෙන්, ඉතුරු කරලා වැඩක් නැහැ කියලා දේ මනසට ගිහාම පස්සේ ඔවුන් වැඩිපුර සල්ලි වියදම් කරනවා. වැඩිපුර. මුදල් වැඩිපුර වියදම් කරනවා කියන්නේ ඒක තුළ ආයිත් උද්ධමනයක් නිර්මාණය වෙනවා. ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය. ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනය පාලනය කරන්න තමා පොලී අනුපාත වැඩි කළේ.”

මේ අතර ජාතික සංවිධාන එකමතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ කියා සිටියේ ය:

“ආරංචි තියෙනවා අපිට දැනගන්න විශ්වාස කටයුතු ආකාරයට, මේ රුපියල අවප්‍රමාණය කරන්න කරපු මැදිහත්වීම්. ඒ කරලා අපේ අර්බුදය තව වර්ධනය කරන්න කරපු මැදිහත්වීම්. ඒ වගේම අනාගතයේ ඉන්දියාවේ රුපියල මේ රටේ මුදල් ඒකකය මේ රටේ භාවිත කරන තත්ත්වයකට ආර්ථිකය වට්ටන්න අපිව අසරණ කරලා, ඒ යෝජනාව භාර ගන්න තත්ත්වයකට පත් කරන්න විවිධ ආකාරයේ මෙහෙයුම් දියත්වන බව. මම ඒ ගැන විස්තර කතා කරන්නේ නැහැ. ඉදිරියේ දී අපට ඒ ගැන දැන ගන්න ලැබෙයි.”

අපනයන ආදායම ඉහළට

රුපියලේ අගය අවප්‍රමාණය හමුවේ තේ, රබර් ,පොල්, කුරුඳු වැනි අපනයන බෝග නිෂ්පාදනයේ නිරතවන ගොවි ජනතාවට වාසිදායක තත්ත්වයක් උද්ගතවී ඇතැ යි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරයි.

ඔහු කියා සිටියේ වැවිලි කර්මාන්තය ක්ෂේත්‍රයේ අපනයන ද්‍රව්‍යවලින් ලැබෙන මිල විශාල වශයෙන් ඉහළගොස් ඇති බව යි.

එහෙත් මේ වන විට අපනයන බෝග අස්වැන්න අඩුවීමක් වාර්තා වී ඇත.

පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේ දී තේ කර්මාන්තයේ නිෂ්පාදන ඵලදායීතාව 15%කින් අඩුවී තිබේ.

අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ පොහාර නැවත ලැබීමත් සමඟ ජුලි, අගෝස්තු වන විට එම තත්ත්වය මඟහැරී යනු ඇති බව යි.

පුවත යවන්න