ලංකාවේ නම කෑ ලාංකිකයෙක් ,ඕස්ට්‍රේලියාවේ දී වරද පිළිගනී / චෝදනා 25ක්

තරුණියන්ට අසභ්‍ය ජායාරූප එවීම සඳහා බලපෑම් කරමින් , මානසික පීඩනයන් එල්ල කිරීමේ චෝදනා සඳහා ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණයකු එරට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
24 හැවිරිදි රන්පති අමරසිංහ නැමති අයකු අඟහරුවාදා වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයේ දී මෙසේ වරද පිළිගත් බවයි ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා සදහන් කළේ.
අසභ්‍ය පින්තූර සහ වීඩියෝ එවීමට තර්ජනය කරමින් , එසේ නොකළහොත් ඔවුන්ව විනාශ කරන බවටත් ,ගණිකාවන් හෙළිදරව් කිරීමට සුදුසු බවටත් සැකකරු තර්ජනය කළ බවටයි පැමිණිලි ඉදිරිපත්ව තිබුණේ.
2018 දී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් කරන ලද විමර්ශනයකින් පසු 2020 සැප්තැම්බර් මාසයේදී ඩොවෙටන් හි නිවසකදී ඔහු අත්අඩංගුවට ගන්නා තෙක්ම මෙම අපරාධ ක්‍රියා සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.
ඔහුට ආරම්භයේ දී වැරදි 16ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ,ළමා කාමුක දර්ශන අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කිරීම ඇතුළු චෝදනා 25ක් මේ වන විට ගොනුකර තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් සහ ස්නැප්චැට් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ වයස අවුරුදු 10ක පමණ කුඩා දැරියන් පවා මෙම අපරාධ සඳහා යොදාගෙන ඇතැයි ද චෝදනා කර තිබෙනවා.
ලිංගික ක්‍රියාවල යෙදෙන නිරුවත් පින්තූර සහ වීඩියෝ දර්ශන යැවීමට අපරාධකරු විසින් වින්දිතයන් දිරිමත් කර ඇති බවයි අභිචෝදක ක්‍රිස්ටා බ්‍රෙක්වෙග් අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම අපරාධයන්ට ගොදුරුවූ වින්දිතයකු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සැකකරු සිදුකළ බලපෑම් මත සිය ජීවිතය විනාශ වු බවයි.
මෙම අපරාධ ක්‍රියාවන්ට ගොදුරුවූ සිය දියණියගේ ජීවිතය විනාශවී ඇතැයි මවක් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.
නඩු විභාගයේ විනිසුරු ඩග්ලස් ට්‍රැප්නෙල් මෙම අමරසිංහ නැමැත්තා හැඳින්වූයේ ,ම්ලේච්ඡ බියගුල්ලෙකු, ලෙසයි.
මෙය පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද විනිසුරුවරයා සදහන් කළා.
ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පෙර දීර්ඝ සිරදඬුවම් විඳීමට ඉඩ ඇති අතර එම දඩුවම් පෙබරවාරි 24 වැනිදා නියම කිරීමට නියමිතයි.

පුවත යවන්න