වික්ටෝරියා හිඳෙයි ..විදුලිය කැපෙයිද…

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම හිටිහැටියේ පහත වැටීම මේ දිනවල බෙහෙවින් කතාබහට ලක්ව තිබෙන මාතෘකාවකි. ජලාශය සීමාවට අයත් තැන්නකුඹුර ආශ්‍රිත ප්‍රදේශය සිඳී ගොස් ඇත්තේ මහවැලි ගඟේ පතුල පෙනෙන මට්ටමටය. මෙයට ඉහත මේ කාලයේදී මේ ආකාරයට ජලාශය සිඳීගොස් නොමැති බවත් මහවැලි ජලය පොළොවේ පැල්මක් තුළට කාන්දු වන්නේද යන සැකය මතුවන බවත් ජනතාව ප්‍රකාශ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනි. මෙතරම් ඉක්මනින් ජලය අඩු වීමට පොළොව අභ්‍යන්තරයේ ඇති පැල්ලමක් හේතු වීමටද ඉඩ ඇති බව ඔහු වරක් පැවසුවේය. මේ නිසාම ජනතාව පත්ව සිටින වික්ෂිප්ත බව තුරන් කිරිම සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය මෙතරම් අඩුවීමට සැබෑ හේතුව කුමක්දැයි අපි සොයා බැලුවෙමු. 

වික්ටෝරියාවේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර 438 කි. පසුගිය 27 දා වන විට එය පැවතියේ 423.4 ක අගයකය. වික්ටෝරියාවේ උපරිම ජල ධාරිතාව ඝන මීටර් මිලියන 723 ක් වන අතර දැන් එය 428 ක් දක්වා පහත බැස තිබේ. පසුගිය වසරේදී වික්ටෝරියාව මඟින් ගිගාවොට් පැය 977 ක් වික්ටෝරියාව මඟින් උත්පාදනය කර ජාතිත විදුලි පද්ධතියට එක්කර ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 16241 කි. ඒ වෙනුවෙන් ජලය ඝන මීටර් මිලියන 2392 ක් භාවිත කර තිබේ. මෙම වසරේ ජනවාරි 27 දින වනවිට ගිගාවොට් 77 ක විදුලි උත්පාදනයක් වික්ටෝරියාව මඟින් උත්පාදනය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ජලය ඝන මීටර් මිලියන 175 ක් වැය කර ඇත.

වික්ටෝරියාවේ ජලය මෙතරම් සිඳීයාම සම්බන්ධව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මෙසේ ප්‍රකාශ කළේය. ජල මට්ටම මෙතරම් පහත වැටී තිබෙන්නේ ඉතා කෙටි කාලයකදීයි. වික්ටෝරියාවේ ජල මට්ටම ඉතිහාසයේ මේ දක්වා අඩුම අගය වාර්තා වන්නේ 2019 වසරේදීයි. ඒ වසරේ මුහුදු මට්ටමේ සිට මීටර 395 ක් දක්වා ජල මට්ටම අඩු වුණා. දැන් පවතින තත්ත්වය සැලකීමේදී ඉදිරියේදී වැස්ස නොැලැබුණොත් මාර්තු අප්‍රේල් වන විට ඉතිහාසයේ අඩුම අගයටත් වඩා අඩු අගයක් දක්වා ජල මට්ටම පහත වැටීමේ අවධානමක් තිබෙනවා. රටේ පවතින විදුලි අර්බුදය හේතුවෙන් සාමාන්‍යයෙන් මෙම කාලයේදී විදුලි උත්පාදනය කරන ප්‍රමාණයට වඩා වැඩි විදුලි උත්පාදනයක් වික්ටෝරියාව මඟින් සිදු කළා. ජලාශයේ සීමාව කිලෝමීටර 26 ක් දුරට විහිදෙනවා. විදුලි උත්පාදනයට ජලය ලබා ගැනීමත් සමඟ ඈත තිබෙන ජලය ජලාශය දෙසට ඇදී එනවා. ඒ නිසා තමයි තැන්නකුඹුර ආශ්‍රිත ප්‍රදේශයේ මහවැලි ගඟ සිඳීගොස් තිබෙන්නේ. පසුගිය මහ කන්නය ආරම්භ වෙත්දී වෙනදට වඩා ජල ප්‍රමාණයක් ගොවිතැන් සඳහා මුදා හැරියා. මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් එක්ක දිනකට වික්ටෝරියා ජලාශයේ ජලය ඝන මීටර් මිලියන 02 ක් පමණ වාෂ්ප වෙනවා. මේ සියලු හේතු ජලාශයේ ජල මට්ටම පහත වැටීමට හේතුවී තිබෙනවා.

ප්‍රධාන ජලාශ ආශ්‍රිතව විශාල ජල ධාරිතාවක් පාවෙන සූර්යය පැනල (floating solar Panels) සවිකොට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධව වසන්ත ඇහළපිටිය මෙසේ පැවසුවේය. මේක ඉතාම හොඳ දෙයක්. ජල විදුලි උත්පාදනයට විශාල වශයෙන් ජලය යොදා ගන්නවා. වියළි කාලගුණික තත්ත්වයක් තිබෙන විට අපි ගැටලු රැසකට මුහුණ දෙනවා. ගොවීන්ට අවශ්‍ය වෙලාවට නිකුත් කිරීමට ජලය රැස්කර තබා ගත යුතුයි. අනෙක් පැත්තෙන් විදුලි උත්පාදනය කරන්නත් ඕන. ලෝකයේ බොහෝ ජලාශවල මේ සූර්ය පැනල සවිකර තිබෙනවා. මෙමඟින් විදුලි උත්පාදනය කර ගැනීම වගේම ජලය වාෂ්පවීම ද පාලනය කරගන්න පුළුවන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේ මෙවැන්නකි.

‘වික්ටෝරියා ජලාශයේ ජලය මෙතරම් කෙටි කාලයකදී සිඳීයාම සම්බන්ධව කඩිනම් ජල විගණනයක් කළ යුතුයි. මේ වගේ ජලය අඩුවීමක් වෙනත් අවුුරුදුවල සිදුවන්නේ අප්‍රේල් මාසය වන විටයි. ජනවාරී මාසය වන විටම මෙතරම් ජලය අඩුවුණේ ඇයි කියන එක සම්බන්ධව කඩිනමින් සොයා බැලිය යුතුයි. ගොවිතැන්වලට ජලය මුදා හැරීම, විදුලිය නිෂ්පාදනය යන කාරණා දෙක හැරුණු විට මේකට බලපාන වෙනත් කාරණා ද තිබිය හැකියි. පොළොව අභ්‍යන්තරයේ ඇතිවන පැල්ලමක් තුළට ජලය ගමන් කරනවාද කියන සැකයත් අපිට බැහැර කරන්න බැහැ. වර්ෂාපතනය හා සම්බන්ධ අවුරුදු 150 කට වඩා පැරණි දත්ත රට සතුයි. මෙයට අමතරව ජලාශ මට්ටමින්ද දත්ත එක්රැස් කිරීමක් කරනවා. මේ නිසා නිසි ජල විගණනයක් කිරීම මඟින් අපිට පුළුවන් වික්ටෝරියාවේ ජලයට මොකද වුණේ කියන කාරණය සම්බන්ධව පැහැදිලි නිගමනයකට එන්න‘

මහවැලි ජලාශභාර ප්‍රධාන ඉංජිනේරු රෝහණ අරුප්පල මේ සම්බන්ධව පැවසුවේ මෙවන් අදහසකි.

‘මෙතෙක් පරීක්ෂණ මට්ටමින් තහවුරු නොකළ කාරණයක් අපි ප්‍රකාශ කිරීමෙන් ජනතාව තුළ අනිසි බියක් ඇති විය හැකියි. මහවැලි ගඟේ කිසියම් පැල්මක් තුළට ජලය ගලා ගොස් ගඟ සිදීගිය බව අපිට පිළිගන්න බැහැ. පසුගිය කාලයේදී විදුලිය නිෂ්පාදනයට ජලය වැඩිපුර පාවිච්චි කළා. ඒත් එක්කම අධික වියළි කාලගුණික තත්ත්වයත්ද ඇති වුණා. මේ කාරණා නිසා තමයි වික්ටෝරියා ජල මට්ටම මෙතරම් පහත බැස තිබෙන්නේ.

මේවන විට දිනෙන් දින වික්ටෝරියාවේ ජල මට්ටම පහත වැටෙමින් තිබේ. ඉදිරි යල කන්නය සඳහා අවශ්‍යය ජලය ගබඩා කර තබා ගැනීමද මේ හේතුවෙන් අසීරුවී ඇත. ලබන මාර්තු හා අප්‍රේල් මාසවලදී වැස්ස නොලැබුණොත් මිණිපේ ගොවි ජනපදවල වගා කටයුතු වල නිරත ගොවීන්ට ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත. පවතින තත්ත්වය සමනය වීමට නම් ඉදිරි මාස කිහිපයේදී වැසි වැටිය යුතුව ඇත. එසේ වුවත් කාලගුණ වාර්තාවලට අනුව එවැන්නකට ඇති ඉඩ ඉතා සීමිතයි‘ – අසේල කුරුළුවංශ

ඡායාරූප – රුවන් මීගම්මන

පුවත යවන්න