විනෝද සංචාරය සඳහා රටේ විවිධ ප්රදේශවලින් නුවරඑළියට දූ දරුවන්ද සමඟ පැමිණි තුන් සියයකට වැඩි පිරිසක් සිය වාහනවලට ඉන්ධන (ඩීසල් ) සපයා ගැනීමට නොහැකිවීම නිසා දින කිහිපයක් තිස්සේ නුවරඑළිය නගරයේ සිරවී සිටින බව වාර්තා වේ.
විනෝදය සඳහා පැමිණි මෙම පිරිස් මෙනිසා දැඩි පීඩාවට පත්ව සිටිතියි දැනගන්නට ඇත.
සමහරුන් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හල්හි දිගු පෝලිම්වල එක දිගට පැය ගණන් රැඳී සිටිනු දක්නට ලැබෙන බව පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.
නුවරඑළිය නගරයේ පිහිටා ඇත්තේ ඉන්ධන පිරවුම්හල් දෙකක් පමණි. ඉන්ධන සඳහා තදබදය උග්රවීමට මේ තත්වයද ප්රධාන හේතුවක්වී ඇතැයි ජනතාව පවසති.
මේ අතර ඉන්ධන පෝලිම් නිසා නුවරඑළිය නගරයේ විශාල රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ විනෝද සංචාරය සඳහා නුවරඑළිය නගරයට පැමිණි විශාල පිරිසක් ඉන්ධන හිඟය නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.
ප්රමාණවත් පරිදි ඉන්ධන ලබා ගෙන පැමිණෙන්නැයි මේ නිසා තමා පිට පළාත්වලින් නුවරඑළිය පැමිණෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
නුවරඑළිය නගරයට ආසන්න නගරවල ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන සඳහා ලොකු තදබදයක් නොපවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පැවසූ නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරයා නුවරඑළියට පැමිණෙන ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා එම පිරවුම්හල්ද යොදාගත හැකි බව දැනුම් දුන්නේය. – (සුජිත් හේවාජුලිගේ )