විස සහිත සහල් මෙරටට ගෙන්වා ඇති බවට ඇතැම් මාධ්‍යයන්හි පළ කර ඇති ප්රවෘත්ති වාර්තා පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.
එකී පුවත් වාර්තාකර ඇති ස්වභාවය සහ අන්තර්ගතය සැළකීමේදී පෙන්නුම් කරන්නේ, අදාළ පුවත් පදනම් කරගෙන ජනතාව නොමග යාමට වැඩි ඉඩක් ඇති බවයි.
එම වාර්තාවල ප්රවෘත්තිමය වටිනාකමින් යුතු ප්‍රධාන කොටස වන්නේ, “මෙරට මිනිස් පරිභෝජනය සඳහා ආනයනය කරන සහල් වල බැර ලෝහ වර්ග අධිකව පැවතීම වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත් වැනි රෝග ගණනාවකට හේතුවක් වන බවත්, මෙරටට ගෙන්වන ලද සහල් වල ඊයම් 43%ක්, කැඩ්මියම් 26%ක්,මර්කරි (රසදිය) 20%ක් හා සෙලනියම් විෂකාරකය 47%ක් පවතින බවය.”
මේ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව අප දක්වන ප්‍රතිචාරය වන්නේ ;
1) මෙම පුවත සඳහා යොදා ගෙන ඇත්තේ 2017 වසරේදී මහනුවර ප්‍රදේශයේ සිදුකළ පර්යේෂණයක වාර්තාවක් බව වැඩබලන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර මහතා තහවුරු කරයි.
2) බැරලෝහ සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ දස ලක්ෂයට පංගුව බැගිනි. එහෙත් මාධ්‍යයන්හි දක්වා ඇත්තේ සියයට ගණන් වලිනි. මෙසේ සියයට ගණන් වලින් බැරලෝහ මනින ක්‍රමයක් ලෝකයේ ක්‍රියාත්මක නොමැති බවත් ඒ අනුව ඉහත ප්‍රවෘත්තිය සාවාද්‍ය ප්‍රවෘත්තියක් බවත් ලසන්ත රත්නවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
3) ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී එයින් ක්‍රමයෙන් මිදීමේ දුෂ්කර ව්‍යායාමයට රජය කැපවී සිටින අවස්ථාවේ , රට අස්ථාවර කිරීමට කැපවුණු බලවේග පුවත් ලෙස මෙවැනි සාවද්‍ය ප්‍රකාශ කාන්දු කරවීමට ඇති ඉඩ කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැකි තත්වයකි. එබැවින් වගකිවයුතු මාධ්‍ය ආයතන ලෙස නොදැනුවත්ව හෝ එවැනි කොටස් වෙත සහය නොදෙනු ඇති බව රජයේ විශ්වාසයයි.
4) ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රතිපත්තියක් ලෙස පමණක් නොව, පණතක් ලෙස සම්මත කර ඇති පසුබිමේ මෙවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාල පාර්ශවයෙන්ගෙන් නිසි විමසීමක් කර, නිවැරදි තොරතුරු නිවැරදි මුලාශ්‍ර සමඟ ජනගත කරන නිදහස් මාධ්‍යකරණයට ගරුකරමින්, මෙකී පැහැදිළි කිරීමට අවශ්‍ය ප්රමුඛ ඉඩකඩ ලබාදීම ඔබ මාධ්‍ය ආයතය වෙතින් කාරුණිකව අපේක්ෂා කරමු.
දිනිත් චින්තක කරුණාරත්න
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව