ආසියානු කුසලානය හයවන වරටත් දිනාගැනීමට දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූණා. ඒ වසර අටකට පසුවයි.
පාකිස්ථාන කණ්ඩායම සමග ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවැති අවසන් මහා තරගයේ දී ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා. ඒ අනුව ඊයේ දිනය තුළදී දෙවරක් ශ්‍රී ලංකාව ආසියාවේ බබලන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණඩායමට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණා. එහි දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස් කළා. ඊට 6 පහර තුනක් සහ 4 පහර හයක් ඇතුළත්. පාකිස්ථානයට නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි. පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් රැස් කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් රැස් කළා.
අවසන් මහා තරගයේ වීරයා ලෙස භානුක රාජපක්ෂ සම්මාන හිමිකරගත් අතර තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංග සම්මාන ලබා ගත්තා. මීට පෙර 1986, 1997, 2004, 2008, සහ 2014 වසර වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියා කුසලානය හිමිකර ගෙන තිබෙනවා.