ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානයට සම්බන්ධ ඇතැම් පක්ෂ ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී සන්ධානයෙන් ඉවත්ව තනිවම තරග කිරීම කෙරෙහි අවදානය යොමු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංධානය යටතේ පසුගිය ජනපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් එක්ව තරග කළේය. එහි දී මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජාතික නිදහස් පෙරමුණට පිළිවෙළින් මන්ත්‍රිධුර 15ක් හා හයක් හිමි විය.
මෙම තත්ත්වය මත ඇතැම් පක්ෂ සිය ඡන්ද ප්‍රතිශතය මත පළාත් සභා මැතිවරණයේ දී මහඇමැති ධුරය, ඇමැතිධුර ආදිය ඉල්ලා සිටීම නිසා වෙනම තරග කර පළාත් සභාවේ බලය හිමිවීමේ දී එක්ව කටයුතු කිරීම වඩාත් සුදුසු බවට යෝජනා වී ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගෙන් එවැනි යෝජනා ඉදිරිපත් වූවත් මේ වනතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බවයි. මේදිනවල නාමයෝජනා කැඳවීමට අවශ්‍ය සුදුස්සන් පමණක් තෝරා ගැනීමේ කටයුතු සිදු කරන බව ඔහු සඳහන් කළේය.
චමින්ද සේනාරත්න – Aruna