මේ වනවිට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (17) අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.
හෙට අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා දෛනිකව රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමක් සිදුවන අතර පළාත් අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසන්නේ.
සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
ඒ අනුව හෙට (17) හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණයි.
මේ අතර සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9,588ක්.
මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලීසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1,826ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3,525ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයන් 92ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා තිබෙනවා.