සටන් විරාම ඉල්ලීම් පසෙක දමා යළිත් ගැටුම් ඇවිලෙයි / ලෙබනනයටත් ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ ත්‍රස්ත ඉලක්ක කිහිපයක් වෙත ද කාලතුවක්කු ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඒ ලෙබනනයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් වෙඩි ප්‍රහාර 6ක් එල්ලවීමෙන් පසුවයි.
හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ රොකට් වෙඩි ප්‍රහාර ඊශ්‍රායලයට ආසන්න මධ්‍යධරණි මුහුදට පතිතවී තිබෙනවා.
එම ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීම ඇරඹූ බවයි ඊශ්‍රායලය පවසන්නේ.
මේ අතර ජෝර්දානය ආසන්න ඊශ්‍රායල දේශසීමාවට ඇතුළු වූ හිමිකරුවකු නොමැති නියමුවන් රහිත යානයක් ඊශ්‍රායලය විසින් වෙඩි තබා විනාශ කර තිබෙනවා.
මෙම යානය ජෝරාදානයේ සිට එවන ලද්දක් බවටයි සැක මතුව ඇත්තේ.
මේ සමග ඊශ්‍රායලයට ආයුධ සන්නද්ධව ඇතුලුවීමට තැත් කළ ජෝර්දාන වැසියන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මුල්වරට පැය 6ක කාලයක් දෙපාර්ශවයෙන්ම ප්‍රහාර එල්ල නොවුණද අද අළුයම සිට ප්‍රබල මට්ටමින් යලි ප්‍රහාර ඇරඹී තිබෙනවා.
ඒ අනුව ප්‍රහාරක යානා 62 ක් භාවිත කරමින් හමාස් භූගත කදවුරු වෙත පහර දෙමින් සිටින බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.
මේ අතර ලෙබනනයේ සිට ගාසා තීරයට ඉදිකර තිබූ කිලෝමීටර 3ක භූගත කදවුරක් ද ඊශ්‍රායලය විසින් විනාශ කර තිබෙනවා.
හමාස් සංවිධානයට සැපයුම් සිදුකළ එක් කදවුරක් ලෙසයි එය නම් කර ඇත්තේ.
රුසියාව , අමෙරිකාව හා යුරෝපා සංගමය ද ගැටුම් අත්හිටුවන ලෙස කළ ඉල්ලීම් මේ වන විටත් ප්‍රතික්ෂේප වී ඇති බවයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල් වාර්තා කළේ.
මේ අතර ඊශ්‍රායලයේ පැවැති දේශපාලන අර්බුධය මේ වන විට නිමාවට පත්ව තිබෙනවා.
ඒ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකිව පැවැති ගැටලුව විසදා ගනිමින් ඊශ්‍රායල අගමැතිවරයා හා විපක්ෂනායකවරයා ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට එකගවීම සමගයි.
කෙසේ වෙතත් මේ වන විට ගාසා තීරයේ තත්ත්වය අවදානම් මට්ටමක පවතින බවයි අල් ජසීරා වාර්තා කළේ.
ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට අවශ්‍ය ලේ හිඟයක් මතුව ඇති අතර 58,000 ක් අවතැන්ව සිටින බවයි එම වාර්තා පැවසුවේ.
මෙතෙක් වසා දමා තිබූ ගාසා තීරයේ පිවිසුම අත්‍යවශ්‍ය සැපයුම් වෙනුවෙන් පමණක් විවර කිරීමටයි ඊශ්‍රායලය පියවරගෙන ඇත්තේ.

පුවත යවන්න