සතියක් තුල ලංකාවේ පැරසිටමෝල් භාවිතය සියයට 275කින් ඉහළට

ඔමික්‍රොන්, ඩෙංගු සහ වෛරස් උණ යන රෝගී තත්ත්වයන් මත පසුගිය සති තුන තුළ පැරසිටමෝල් පෙති සඳහා ඇති ඉල්ලුම සියයට 275 කින් ඉහළ ගොස් ඇති බව නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඔමික්‍රොන්,ඩෙංගු සහ වෛරස් උණ තත්ත්වයන් පාලනය කිරීමට පැරසිටමෝල් යොදා ගැනීම මෙම ඉල්ලුම ඉහල යාමට හේතුව බවයි.
ලෝක වෙළෙඳපොළේ පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ සමාගම් ඒවා ආනයනය කිරීමට මැලිවීමත් දේශීය වෙළෙඳ පොළේ පැරසිටමෝල් පෙති හිඟයක් ඇතිවීමට බලපා ඇති බවයි ඔහු පැවසුවේ.
එබැවින් අවශ්‍ය පැරසිටමෝල් පෙති තොග උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවද ඒ මහතා සදහන් කළා.

ඊයේ දිනයේ පමණක් පැරසිටමෝල් පෙති මිලියන 3.2කට ආසන්න ප්‍රමාණයක් මෙරට දී නිෂ්පාදනය කර තිබෙනවා.

පුවත යවන්න