සරසවි ඇදුරන් ලංකාව අතහැර යාමේ සූදානමක්

පවතින අර්බුදකාරී වාතාවරණය මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සියයට විසි හයක් පමණ විදෙස් ගතවීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සකස් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව සියයට හතළිස් හතකට ආසන්න පිරිසක් විදෙස්ගත වීම සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවද අනාවරණය වී ඇත.

විදෙස්ගත වීමට දැනටම සැලසුම් කර ඇති ආචාර්යවරුන් අතරින් සියයට තිස්පහක් වයස අවුරුදු තිස් හයත් හතළිස් පහත් අතර පසුවෙති. මෙම පිරිසට ක්ෂේත්‍රයේ තවත් වසර විස්සක් සේවය කළ හැකිය. එමෙන්ම මෙම සියයට විසි හය අතරින් සියයට හතළිස් හතක් ආචාර්ය උපාධි ලබා සිටින්නෝ වෙති. ඔවුන් එම ආචාර්ය උපාධි සම්පූර්ණ කර ඇත්තේ 2016 වසරින් පසුවය.

ආචාර්යවරුන් දෙදහසකට ආසන්න පිරිසක් මෙම සමීක්ෂණයට දායක වී ඇති අතර එම ප්‍රමාණය සමස්ත ආචාර්යවරුන්ගෙන් තුනෙන් එකක් වෙති. වයස් සීමාව අවුරුදු විසි පහත් හැට පහත් අතර සියලුම පීඨ නියෝජනය වන ලෙස නියැදිය යොදා ගෙන තිබිණ. සියලු විශ්වවිද්‍යාල ආවරණය වන ලෙස සහභාගි වී ඇත.

වත්මන් බදු ප්‍රතිපත්තිය එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට වෘත්තිය ක්‍රියාමාර්ගද ගනිමින් සිටියි.

මේ අතර ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදෙස්ගත වීමට මෙතෙක් ලබා දුන් පහසුකම් මේ වනවිට නතර කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ එම ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්වවිද්‍යාල ‘කාන්තාර’ බවට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ද ප්‍රකාශ කළේය.

පුවත යවන්න