කොරෝනා වසංගතය මුළු ලෝකයම වෙළා ගෙන අවසන්ය. රෝගය පැතිරයාමත් සමඟ මුළු ලෝකයම බියට පත්වූයේ ඒ සඳහා නිසි බෙහෙතක් නොතිබූ බැවිනි. කෑගල්ලේ වෙදමහතකුගේ පැණියකින් කොරෝනා සුව වන බව සැලවීමත් සමඟින් බොහෝ දෙනකුගේ අවධානය එදෙසට යොමු විය.මෙම වෙදමහතාගේ නම ධම්මික බණ්ඩාර යැයි පැවසූ බැවින් එම බෙහෙතද ‘‘ධම්මික පැණිය‘‘ නමින් හැඳින්විණි.
කාලි මෑණියන් සිහිනෙන් පැවසූ වට්ටෝරුවකට අනුව මේ ඖෂධය නිපදවන බවද තැන තැන පැවසිණි. මේ පැණිය සොයා වෙදමහතාගේ කෑගල්ල ඔත්නාපිටියේ පිහිටි නිවසටත්, උඩුමාගම දේවාලයටත් වැල නොකැඩී සෙනඟ පැමිණිහ.ධම්මික පැණිය නොමිලයේ බෙදා දෙන දන්සැල් ද පැවැත්විණි.
මේ අතර මෙම ඖෂධය පිළිබඳ විවිධ පිරිස් නොයෙක් මත පළ කළහ. තවත් පිරිසක් වෙදමහතාගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න මතු කළහ. කොරෝනා එන්නත මෙරටට ගෙන ඒමත් සමඟ ජනතාව පැණියෙන් ඈත්වන්නට පටන් ගත්තේය. ධම්මික වෙදමහතා කොරෝනා එන්නත ලබාගත් බවට සමාජ මාධ්‍යවල ඡායාරූපද පළ විය. ඔහු පවසන්නේ එය තමන්ට මඩ ගැසීම සඳහා යොදා ගන්නක් ලද බවය.
කාලයක් එකදිගට පුවත් මැවූ ධම්මික වෙදමහතා මේ වනවිට නිහඬව ඇත. ධම්මික පැණියද ජනතාවගේ මතකයෙන් ගිලිහී යමින් තිබේ .
අප ධම්මික වෙද මහතා හමුවූවේ ඔහු පදිංචිව සිටින ඔත්නාපිටිය නිවසේදීය. පසුගිය දිනවල කොරෝනා පැණිය නිෂ්පාදනය කළේද එහිදීය. අද වන විට ඒ සඳහා යොදාගත් භාජන හා උපකරණද පැත්තක අසුරා ඇත. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයෙන් ලබාදුන්නා යැයි කියන කැබැලි කරන යන්ත්‍රයද පසෙකට දමා ඇත. නිවෙසේ එක් පසෙක හිස් කාලේ වීදුරු බෝතල් දහස් ගණනකි. තවත් පසෙක හිස් ගෑස් සිලින්ඩර තොගයකි. මෙහි රැදී සිටියා යැයි කියන වෙද මහතාගේ ආරක්ෂකයන් හෝ සේවකයන්ද එහි නැත.
භාවිතයට ගත් ගෑස් සිලින්ඩර
ජනමාධ්‍යවල උණුසුම් පුවත් මැවූ මෙම වෙද මහතා අප හා කතාබහට එක්වූවේ ජනමාධ්‍ය තමන් නොමරා මැරූ බව ද පවසමිනි.
“දැන් මම බෙහෙත් හදන්නේ නැහැ. බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා. චීනයෙන් මී පැණි ටිකක් ගෙන්වා ගත්තා. දැන් මී පැණි ආවත් බෙහෙත් හදන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා. මම සිතුවේ ලංකාවේ කොවිඩ් නැති කරන්නයි, ලංකාවට විදේශ විනිමය අරගෙන දෙන්නයි. ඒත් මේ රටේ වැඩි පිරිසක් බෙහෙතට කෙනෙහිලිකම් කරා. ගිය අවුරුද්දේ මුල බෙහෙත හැදුවා. නොවැම්බර් මාසයේ වතුපිටිවල රෝහලේ සායනික පරීක්ෂා සිදුකරලයි බෙහෙත එළි දැක්වූවේ. කොවිඩි හැදුණු අයට දවස් තුනෙන් සනීප වුණා. ලෙඩ්ඩු බලාගත් අයට මේ බෙහෙත නිසා කොවිඩ් වැලඳුණේ නැහැ.
ලංකාවේ නාවික හමුදාවේ මුල් වටයේ කොවිඩ් තුරන් කළේ මමයි. බය නැතිව මට එහෙම කියන්න පුළුවන් ඡායාරූප සමඟ මගේ ළඟ සාක්ෂි තිබෙන නිසයි. වරායට, ගුවන් තොටුපළ අරින කොට ඔය එන්නත තිබුණේ නැහැ. ඒ අයට බෙහෙත් දුන්නෙත් මමයි. මේ බෙහෙත ධම්මික පැණිය වුණෙත් මාධ්‍ය තුළින්මයි. මේ බෙහෙත බීපු කාටවත් මම උපදෙස් දුන් විදියට මස් මාළු නොකා මත්පැන්, දුම්නොබී සිටියා නම් කොවිඩ් හැදුණේ නැහැ. මම හදපු බෙහෙත ලක්ෂ විසිපහකට අධික පිරිසක් බිවුවා. ඒ අයගෙන් වැඩි දෙනෙක් කොරෝනා පොකුරු ඇතුළේ සිටි අය. ඒ අයට කොවිඩ් වැලඳුණේ නැහැ.
සමහර වෛද්‍යවරු මේ බෙහෙතට බොහෝ නින්දා කළා. කෑගල්ලෙන් ධම්මික පොකුරක් හැදෙයි කීවා. ඔත්නාපිටියේ බෙහෙත් හදන තැන පැණි පොකුරක් හැදෙයි කීවා. එක දවසට දස දහසක් විතර සෙනඟ පොදි ගැසෙමින් බෙහෙත් ගන්න ආවත් ඒ කාවවත් කොරෝනා පොකුරක් වුණේ නැහැ.“
ධම්මික බණ්ඩාර යනු පාරම්පරික හෝ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවීය. එවැන්නකු ලෝකයම වෙළාගත් රෝගයකට බෙහෙත් කරන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට පැනයක් විය. ධම්මික බණ්ඩාර යන නම ඔහුගේ සැබෑ නම නොවන බවටද සමහරු ප්‍රකාශ කර තිබිණි. අප ඒ පිළිබඳවද ඔහුගෙන් විමසුවෙමු.
‘‘ඒක ඇත්ත, මගේ නම ධනපාල. මම ඒ වෙනුවට ධම්මික බණ්ඩාර ලෙස නම වෙනස් කළේ මීට අවුරුදු අටකට නවයකට විතර කලින්. ඒක කළේ හාමුදුරුවන්ගේ ඉල්ලීමකට. උන්වහන්සේලාට දෙණියාය ගැටබරු දේවාලයේ බස්නායක නිලමේ හැටියට මාව පත්කර ගන්න මගේ නම ප්‍රශ්නයක් වුණා. මගේ උපන් වේලාවට අනුව නැකැත් බලලා තමයි උන්වහන්සේලා මේ නම තිබ්බේ. එහෙම නැතිව කොවිඩ් බෙහෙත නිසා නොවෙයි. නායක හාමුදුරුවන්ට ඕනෑ වුණා මාව ඉදිරියට ගෙනියන්න. මගේ තාත්තා මාතර,අම්මා තමයි කෑගල්ලේ.
භාවිතයට නොගෙන අතහැර දමා ඇති උපකරණ
මේක දෙවියන්ගේ ඖෂධයක්. මගේ අතින්ම තමයි මම මේක දෙන්නේ. මට වෙද මහත්තයා කීවේ මාධ්‍ය තුළින්. කාලි මෑණියන් මගේ ඇඟට ආවේශ වෙලා තියෙන නිසා මට කියන්නේ ‘‘මෑණියෝ‘‘ කියලයි. තුම්මෝදර භද්‍රකාලි දේවාලයේ මෑණියෝ කීවාම ඕනෑම කෙනෙක් දන්නවා. මගේ දේවාලයෙන් අවුරුදු ගණනක් විවිධ ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරනවා. බටහිර වෛද්‍යවරුන් සුවකරන්න බැහැ කියූ රෝගීන් කාලි අම්මාගේ ආශිර්වාදයෙන් මම සුව කරලා තියෙනවා. ඒ වුණත් මම වෙදමහත්තයෙක් නොවෙයි.
ආයුර්වේදය කියන්නේ මේ රටට ඉන්දියාවෙන් ආව එකක්. ඉන්දියාවට ආවේ ඝෘෂිවරුන්ගෙන්.මේ ගැන හරි ගවේෂණයක් කළොත් ඒක තේරුම් ගන්න පුළුවන්.ආයුර්වේද වේවා සිංහල හරි බටහිර හරි වේවා කොවිඩ්වලට බෙහෙතක් නැතිව මරබියෙන් පෙලෙන වෙලාවකයි මම මේ බෙහෙත හදලා දුන්නේ.මගේ ජන්මය හොයන්නේ නැතිව මේ බෙහෙත ගැන හෙව්වානම් හරි.ඊයේ පෙරේදා පස්සර ලොකු රිය අනතුරක් සිදු වුණා.එතැන තුවාල වූ අයගේ ලේ යනකොට රෙදි පටිය ගැටගැසූ කෙනා වෛද්‍යවරයෙක් නෙවෙයි.හැබැයි තුවාල වු කෙනාගේ ජීවිතය බේරාගන්න ඒක වැදගත් වුණා.මගේ බෙහෙතට ආයුර්වේද වෛද්‍යවරු කෙනෙහිලිකම් කළා.මගෙන් බෙහෙත් වට්ටෝරුව ඉල්ලුවා. මම වට්ටෝරුව දුන්නාම බෙහෙත හැදුවත් වැඩක්වුණේ නැහැ. අපි මේක හැදුවේ මෑණියන්ගේ අතින්. මෑණියන්ගේ ආශිර්වාදයෙන්.‘‘
ධම්මික පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමටද ධම්මික මහතාට හැකි විය.එහෙත් පැණිය පානය කළ සෞඛ්‍ය ඇමැතිවරියට කොවිඩ් වැලදීමත් සමඟ ජනතාව අතර යළි ඒ ගැන විවිධ මත පැතිරුණි. ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙබන්දකි.
‘‘මම හදපු බෙහෙත ලක්ෂ විසිපහකට අධික පිරිසක් බිවුවා. ඒ අයගෙන් වැඩි දෙනෙක් කොරෝනා පොකුරු ඇතුළේ සිටි අය. ඒ අයට කොවිඩ් වැළඳුණේ නැහැ කියලා මම කලිනුත් කීවා. පාර්ලිමේන්තුවේදී මම කථානායකතුමාට මේ බෙහෙත දුන්නා. සෞඛ්‍ය ඇමැතිතුමියත් මේ බෙහෙත බීවා. ඒත් එතුමියට කොවිඩ් හැදුණා. එතුමිය මගේ උපදෙස් පරිදි දින තුනක් බෙහෙත ලබාගත්තා නම් එතුමියට කොව්ඩ් හැදෙන්නේ නැහැ. එතුමියගේ පවුලේ අයත් ඒ ගැන කියලා තිබුණා. පියල් නිශාන්ත ඇමැතිතුමාත් බෙහෙත බිව්වේ නැහැ කියලා කියා තිබුණා.
ඒ වගේම විමල් වීරවංශ ඇමැතිතුමා මේ බෙහෙත හරියට බිව් නිසා කොවිඩ් වැළඳුණේ නැහැ කියලා රූපවාහිනී වැඩසටහනකදී කීවා. මාධ්‍ය එකක් දෙකක් හැර බොහොමයක් මේ තත්වය විකෘති කරලායි වාර්තා කළේ. කොරෝනා නිවාරණ ප්‍රතිශක්තිකරණ ජීව ශක්ති පානය ලෙස මම හදපු බෙහෙත ධම්මික පැණිය බවට පත්කළේ ජනමාධ්‍යයි. මම ආයුර්වේද සභාවෙන් දුන් සහතිකයත් ප්‍රතික්ෂේප කළේ කොරෝනා නිවාරණ කියලා සහතිකයේ නොතිබූ නිසයි. “
මේ බෙහෙත් දන්සැල් දෙනවා වගේම අලෙවි කළ බවටත් තොරතුරු වාර්තා වුණා. කොවිඩ්වලට බෙහෙතක් නොමැතිව තිබියදී මේ බෙහෙත ඔබට අලෙවි කරගැනීමට ලැබීමෙන් ලොකු වාසියක් අත්වූවාද? අපි ඔහුගෙන් විමසුවෙමු.
මම ලංකාවේ උසම සමාධි බුදු පිළිමය හදන්න සැලසුම් කරලා තිබුණේ. ඒ සඳහා මා ළඟ තිබූ මුදල් මේ බෙහෙත හදන්න මම වියදම් කළා.මගේ ළඟ තිබුණු වාහන හයක් විකිණුවා.බැතිමතුන් දුන් මුදල්, මගෙත් එක්ක වැඩ කරන අයගේ රත්තරන් බඩු පවා උකස් කරලා සොයාගත් මුදල්වලින් තමයි අපි මේ බෙහෙත හැදුවේ. කාගෙන්වත් සල්ලි ලැබුණේ නැහැ.ඒත් මේ බෙහෙතට අගෞරව කළා මිස කවුරුවත් උදවු කළේ නැහැ.
බෙහෙත් හදන්න අවශ්‍ය දේ ගන්න මගේ සියලු දේවල් ඉවර කරලා මේ ගේ විකුණන්න තීරණය කළා. ඒක අර කෙනෙක් කියලා තිබුණා වගේ මගේ උන්මන්තකකම වෙන්න ඇති.මම සිතුවේ මේ රට වෙනුවෙන්.භද්‍රකාලි මෑණියන් මට සියලු සැප සම්පත් දීලා තිබෙනවා. බෙහෙත්වලට, විදුලියට, ගෑස්වලට, ශ්රමයට යනාදී වශයෙන් බලලයි බෙහෙත් බෝතලයක් රුපියල් දස දහසකටත්,බෝතල් කාලක් රුපියල් දෙදහස් පන්සියයකටත් මිල නියම කළේ. ලැබුණු මුදල් චීනයෙන් මී පැණි ගෙන්වා ගන්න යෙදවූවා. බෙහෙත් බෙදාදෙන විට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් සිදු වුණා.මෙතැනදී කාලේ බෝතල් හත් දහසකට වඩා බෙදා දුන්නා. උඩුමාගම දේවාලය ළඟදී 7662ක් බෙදා දුන්නා.පූර්ණ සෞඛ්‍ය ප්‍රතිපත්ති හා නීතිරීතිවලට පටහැනිවයි බෙහෙත් බෙදාදුන්නේ.හැබැයි ඒ කාටවත් කොවිඩ් හැදුණේ නැහැ.‘‘
ධම්මික වෙදමහතා මේ බෙහෙත ගැන කෙතරම් විශ්වාසයෙන් ප්‍රකාශ කළත් ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවට සමාජ මාධ්‍ය ජාලාවල ඡායාරූපයක් සංසරණය වෙමින් තිබේ.අප ඒ ගැන විමසූවිට ඔහු ඊට මෙලෙස පිළිතුරු දුන්නේය.
“මම නම් ඒක දැක්කේ නැහැ.හෙදියක් මට මේ එන්නත ලබාදෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල තිබෙනවා කියලා මටත් දැනගන්න ලැබුණා.ඒ දේශපාලනඥයකුට එන්නත දෙන පින්තූරයකට මගේ ඔළුව බද්ධ කරලා නිර්මාණය කළ ඡායාරූපයක්. මට අවශ්‍ය නම් ඒකට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්නත් පුළුවන්. ඒත් මම දකින එකම දේ මම තව කෙනෙකුට වෛර කරන්නේ නැහැ. සමහර මාධ්‍යවලින් මට මඩවලින්, අශූචිවලින් ප්‍රහාර එල්ල කළත් මම වෛරයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.
කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයෙන් ලබාදුන් යන්ත්‍රය භාවිතයට නොගෙන මුල්ලකට දමා තිබූ අයුරු
මම කැමැති නැහැ දේශපාලනඥයන්ට. මටත් දේශපාලනයට ආරධනා තිබෙනවා. නමුත් මම කැමැති නැහැ. හැබැයි මම දේශපාලනඥයන්ට බොහෝ උදවු කළ කෙනෙක්. මම මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ස්වාධීනව කටයුතු කරනවා.දේවාලයට ආශිර්වාද ගන්න පැමිණෙන බොහෝ දේශපාලනඥයන්ට මම උදවු කළා. සමහර දේශපාලනඥයෝ මගේ බෙහෙත වදකහ සුදිය වගේ කීවා. තව සමහරු එන්ජින් ඔයිල් කීවා. හැබැයි ඒ කියපු අයත් බෙහෙත බිවුවා. ඉහළම අය ඉල්ලන වෙලාවට බෙහෙත දෙන්න බැරි වුණාම දොස් කීවා මිස උදවු කළේ නැහැ.
දේශපාලනඥයන් ඔහුට උදවු නොකළ බව කීවත් මේ රටේ ඉහළම දේශපාලනඥයෙකුගේ නියෝගයකින් ඔහුට රජයේ අනුග්‍රහයෙන් මී පැණි තොග පිටින් ලැබුණු බව සමහරු ප්‍රකාශ කරති. ඒ අතරම එක්තරා අමාත්‍යාංශයකින් රුපියල් ලක්ෂ විසිපහක් වටිනා යන්ත්‍රයක්ද ලබාදී ඇති බව පැවසෙයි. අප ඒ පිළිබඳවද ධම්මික බණ්ඩාර වෙදමහතාගෙන් විමසූවෙමු.
“ජනාධිපතිතුමා වනජීවී දෙපාර්තමේන්තුව හරහා මට මී පැණි නොමිලේ ලබාදුන්නා කියලා කතාවක් ප්‍රචාරය වී තිබෙනවා. ජනාධිපතිතුමා මට මී පැණි ලබාදුන්නේ නැහැ.එතුමා මේ බෙහෙත පිළිගත්තෙත් නැහැ. වනජීවී එකෙන් කිසිවක් ලැබුණෙත් නැහැ. සමහර හාමුදුරුවරු මට මී පැණි හා සාදික්කා සොයා දුන්නා. මුලදී රුපියල් හත්සිය පනහට ගත්ත මී පැණි බෝතලය රුපියල් හත්දහස් පන්සියයටත් ගන්න සිදු වුණා. සත පනහට රුපියලට ගත්ත සාදික්කා ගෙඩිය රුපියල් දහයට දොළහට ගියා.
කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයෙන් සාදික්කා කෑලි කපන යන්ත්‍රයක් ලැබුණා. ලක්ෂ විසි පහක යන්ත්‍ර නම් ලැබුණේ නැහැ. මේ කෑලි කපන මැෂිම ලක්ෂ හතර හමාරයි. සාදික්කා ප්‍රවාහනයට ශීතකරණ පහසුකම් තිබෙන කුඩා ලොරියක් ගත්තා.ඒක ගත්තේ පුතාගේ නමින් ලක්ෂ විසි පහක් ණය අරගෙන. ඒ ණය දැන් ටික ටික ගෙවාගෙන යනවා. මෑණියන්ගේ බලයෙන් මගෙන් ප්‍රතිකාර ගත්ත විදේශ රටක ජීවත්වන විශේෂඥ වෛද්‍යවරයෙක් මට ලබාදුන් ජිප් රථය තමයි මම දැන් පාවිච්චි කරන්නේ. සුව කළ නොහැකි බව කියන පිලිකා, ඒඩ්ස් වැනි රෝගවලටත් මගෙන් ප්‍රතිකාර ලබාගෙන සුව වූ අය සිටිනවා.
ධම්මික බණ්ඩාර
මගේ ළඟ ළමයි අට දෙනෙක් විතර උදවුවට හිටියා. මගේ ළඟ පෞද්ගලික ආරක්ෂාවට කිසිවෙක් හිටියේ නැහැ. මගේ අම්මා මගේ ආරක්ෂාවට සිටිනවා. මගේ ළඟ සිටින ළමයි මම බලා ගන්නවා. අවුරුද්දක කාලයක් බෙහෙත නොමිලේ දුන්නා. එන්නත් එනවත් එක්කම මී පැණි නැතිව බෙහෙත හදන එක නතර වුණා. මට කිසිම දෙයක් නැතිවුණා. ළඟ හිටපු අය නැති වුණා. ඒකෙන් කම්පා වෙලා මම හදිසියේම අසනීප වුණා.
මේ ඖෂධය විදේශීය රටවල් හතරක පහක පරීක්ෂණ තත්ත්වයේ තිබෙනවා. ඖෂධය ඒ රටවලට යවන්න නම් නියෝජිතයෙක් අවශ්‍ය බව කියනවා. මේ ඖෂධය දේශීය ආයතනවලිනුත් ඉල්ලුවා. ඒ අය බෙදා හරින්නම් කියලා. මේක දෙවියන්ගේ ඖෂධයක්. එහෙම ජාවාරම් කරන්න දෙන්න බැහැ. මතු බුදුවන භද්‍රකාලි මෑණියන්ටපින්පිණිස මම පුළුවන් තරම් කාලයක් දේවාලයේදී බෙහෙත් කරනවා. ඉල්ලන කෙනෙක්ට දෙන්න දැනටත් මගේ ළඟ කොවිඩ්වලට හදපු බෙහෙත තිබෙනවා. පද්මාසනය සමඟ අඩි එකසිය පනස් හයක් විතර උස ලංකාවේ උසම සමාධි පිළිම වහන්සේ ඉදිකිරීමත් මගේ සිහිනයක්.