සිරසට එරෙහි මෙහෙයුමක් ගැන එල්ලවූ චෝදනාව ඇමති බන්දුල ප්‍රතික්ෂේප කරයි

රජය මාධ්‍ය මර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

සිරස රූපවාහිනී නාලිකාවේ කටයුතු වැලැක්වීමට රජයට සම්බන්ධ නීතීඥ කණ්ඩායමක් සැලසුම් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණය කළ රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදින්ට අද වන තුරුත් සිදු වූ දෙයක් නොමැති බව පෙන්වාදුන් වෙළෙඳ අමාත්‍යවරයා, වත්මන් රජය කිසිදු මාධ්‍ය ආයතනයක් මර්ධනය සඳහා කටයුතු කරන්නේ නැති බව සඳහන් කළා.

රජය, මාධ්‍ය නිදහසට ගරු කරන බවත් ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් උදෙසා රජය සෑම අවස්ථාවකම ඉඩ ප්‍රස්ථා ලබා දෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, කඩා වැටුණු ආර්ථිකයක් නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපතිවරයාට එරෙහිව දිනපතාම කරන මෙවැනි ප්‍රකාශ, හෙළා දකින බව ද කියා සිටියා.

පුවත යවන්න