සුළු සේවකයෙක් ලොකු වැඩක – ඔක්සිජන් සිලින්ඩර් 208ක් උස්සලා

පොලොන්නරුව මහ රෝහලේ රෝගී සත්කාර සේවා සඳහා රැගෙනවිත් නැවත පිරවීම සඳහා ගබඩා කර තිබුණු හිස් ඔක්සිජන් සිලින්ඩර් 208ක සොරකමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලොන්නරුව මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මහින්ද ගුණතිලක මහතා විසින් පෙරේදා (19) කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබීය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම සොරකම සිදුව ඇති බව මූලික විමර්ශනවලින් පෙනී යන බව පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි. මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ගබඩාවේ තිබුණු විවිධ ප්‍රමාණයන්වල හිස් ඔක්සිජන් සිලින්ඩර් බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙසේ සොරාගත් ඔක්සිජන් ටැංකි ඔහු විසින් අලෙවි කළ පුද්ගලයන් හඳුනාගෙන එම සිලින්ඩර් පොලිස් භාරයට ගැනීමටත් සැකකාර රෝහල් සුළු සේවකයා අත්අඩංගුවට ගැනීමටත් විමර්ශන පැවැත්වෙන බව පොලොන්නරුව පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

පුවත යවන්න