සෙලෙන්දිව සමාගමට රජයට අයත් දේපළ පවරා දීම හෝ බදුදීම වළක්වන්නැයි, පෙත්සමක්

රජය විසින් ස්ථාපිත කර ඇති සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් හා සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් සමාගම්වලට, රජයට අයත් දේපළ පවරා දීම හෝ බදු දීම වළක්වන නියෝගයක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන්නැයි, ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

කැබිනට් මණ්ඩලයේ එකඟතාව සහිතව රජය මේ වන විට එම සමාගම් දෙකට රජයට හිමි හා රජයට කොටස් බහුතරයක් හිමි සමාගම් කිහිපයක් පවරා ඇති බවත්, සිය පෙත්සමෙන් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

එලෙස රජය සතු දේපළ වෙනත් සමාගම් වෙත පවරා දීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රජයේ මූල්‍ය රෙගුලාසි වලට පටහැනි බව පෙත්සමේ සඳහන් ය.

එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් වන බවත්, තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත්, පෙත්සම්කරු අවධාරණය කර තිබේ.

පෙත්සම්කරු වන රේණුක පෙරේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම පෙත්සම සළකා බැලීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසයි.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, විගණකාධිපතිවරයා, සෙලන්දිව ඉන්වෙස්මන්ට් සමාගම, සෙලන්දිව ලෙෂර් ඉන්වෙන්ස්මන්ට් සමාගම, සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු පුද්ගලයින් හා සමාගම් 19 ක් නම් කර තිබේ.

පුවත යවන්න