මෙරට දරුණු ආර්ථික අර්බුදය සහ ණය ගැටලුව විසඳා ගැනීම සඳහා IMF මඟින් ලබා දෙන විස්තීර්ණ ණය මුදල සඳහා අනුමැතිය ලැබී ඇත. පසුගිය කාලය පුරා අපි බංකොලොත් රටක් ලෙස සඳහන් කිරීමට ප්‍රධාන හේතුව ලබා ගත් ණය ගෙවීමට නොහැකි වීම එය නිල වශයෙන් අප විසින් දැනුම් දීමක් ඒ අනුව මෙරට බංකොලොත් රටක් ලෙස ලෝකයට අප විසින්ම ප්‍රකාශ කරනු ලැබිණි. එම සිදු වීමට පෙර සිටම ණය දීමට සුදුසුකම් මනින ක්‍රමවේදයට අනුව එනම්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් නිකුත් කරන වාර්තා අනුව ලංකාව කිසිදු දිනක C මට්ටමින් ඉහළට නොගිය අතර, එම තත්ත්වය ද පහළ වැටෙමින් තිබූ බව එම වාර්තාවලින් හෙළිදරව් කරන ලදී. කෙසේ වුවත් 2022දී අපි බංකොලොත් රටක් බව ඒ ශ්‍රේණිගත කිරීම්වලින් පැහැදිලි විය. ණය බොල් ණය බවට පත් කිරීමට සිදු වීමත් සමඟ අපට කිසිවකු ණය ලබා නොදුන්නේය.
ඉන් අනතුරුව IMF අප සමඟ එකඟ වූ විස්තීර්ණ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති සඳහා උපකාරයක් ලෙස IMFඩොලර් බිලියන 2. 9 විස්තීර්ණ ණයක් වසර හතරක කාලයක් පුරා කොටස් වශයෙන් ලබා දීමට යෝජනා විය. ඒ සඳහා අපි පොරොන්දු වී ඇති වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින බව සහ එහි ප්‍රගතිය වසරකට දෙවරක් තක්සේරුවක් කරමින් දිගටම පවත්වා ගෙන යන්නේද යන්න පිළිබඳ සොයා බැලීමක් සිදු කරයි. මේ IMF සමඟ ගමන් කිරීම සහ එයට එකඟ වීම ණය ලබා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලැබීමෙන් ප්‍රකාශ වන්නේ මෙරට ඉදිරියට ණය ගැනීමට සුදුසු තත්ත්වයට පත් වී ඇති බවයි. අප රට ණය ලබා දිය හැකි රටක් ලෙස නැවත සහතික වීමක් මින් ලැබෙයි. ඒ නිසා රටක් ලෙස අපට නැවත ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉඩ සැලසෙයි. ඒ සමඟ අපට වෙනත් රටවලින් ණය ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතන, විදෙස් රටවල්, මෙන්ම වාණිජ ණය ද ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී නතර වී තිබුණ බිලියන 7ක් පමණ ලැබීමට නියමිතය.
ඉදිරියේදී ප්‍රතිපත්ති සංශෝධනය කරමින් කිසියම් ආකාරයකට ස්ථායිතාවක් අත්පත් කරගන්නා රටක් ලෙස පෙන්නුම් කළ යුතුය. එහිදී අපිට ණය ලැබීමේ පහසුකම සහ බහුපාර්ශ්විය හා ද්වී පාර්ශ්විය ණය ලැබීමටත් අවකාශ හිමි වෙයි. එම මූල්‍ය ආයතනවලටත් ඇතැම් විට යම් විශ්වාසයක් ඇත්තේ නම් අපේ බැඳුම් කර ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් ඉදිරියේදී ලැබෙයි.
කෙසේ වෙතත් අපේ රට 2009 වසරේදීත් වර්තමානයේ මෙන් ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට නියමිතව තිබුණි. එහෙත් එවකටත් IMF මඟින් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක ණයක් ලැබුණු බැවින් ඒ අවස්ථාවේදී ඒ අර්බුදයෙන් ගැලවීමට හැකියාව ලැබුණි. එහෙත් අපට රටක් ලෙස එසේ ලබා ගත් ණය මුදල නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත 2022දී අද අප රට පත්ව තිබෙන අර්බුදයට මුහුණ දීමට සිදු විය. එබැවින් දැන් ලැබෙන ණය සහ එමඟින් විවෘත වන අවස්ථා රටක් ලෙස අප නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුත්තේ එබැවිනි. එසේ නොවන්නට වසර ගණනකින් නැවත මේ අර්බුදය මතුවිය හැකිය.
IMF වැඩසටහන තුළ ප්‍රතිසංස්කරණ වර්ග 3ක් වෙයි. පසුගිය මාස කිහිපය තුළ රජයේ ආදායම වැඩි කර ගැනීම, රාජ්‍ය ව්‍යවසායන් වැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීම, විදුලිය සහ ඉන්ධන ආදියෙහි වෙළෙඳපොළ මිල අඩුකර ගැනීම වැනි ක්‍රමෝපාය භාවිත කර ඇත. බදු සංශෝධන කිහිපයක් එකතු වීමට ද ඉඩ ඇත. රජයේ රැකියා දීම සීමා කිරීම ඒ අතර වේ. IMF ඇතැම් ව්‍යුහාත්මක ප්‍රශ්න දෙස නොබලයි. ආණ්ඩුවේ නිෂ්පාදනය 8%ට පහළින් තිබුණි. බදු ආදායම පහළ මට්ටමින් පවතින අතර IMF පවසන්නේ මෙය ඉහළට ගෙන ඒමටයි. එහිදී එය ඉහළට ගෙන ආ යුත්තේ කෙසේද යන කරුණ පිළිබඳ මිස ව්‍යුහාත්මක ප්‍රශ්න යන කරුණ පිළිබඳ අවධානය යොමු නොකරයි. ඒ සඳහා පෞද්ගලික ආදායම් බදු වැඩි කිරීම, වැට් වැඩි කිරීම සිදු කරන ලදී. අපට ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්න රැසක් වෙයි. බදු අය කිරීම සාධාරණය නොවේ. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත පිරිස්වලින් බදු අය වේ. අපේ රටේ ලක්ෂ පහක ප්‍රමාණයක් බදු ගෙවයි. එහෙත් රටේ මිලියන ගණනක බදු ගෙවන්නන් සිටිය යුතුය. ඔවුන් බදු ගෙවීමට ඇතුළත් කර ගැනීමට ක්‍රමවේදයක් ආණ්ඩුවට තවමත් නැත.
මේ දුර්වල බදු ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කළ යුතුය. මෙවැනි ව්‍යුහාත්මක ප්‍රශ්න අප විසඳා ගත යුතුය. අපේ සියලු පාර්ශ්වවලට රට ගොඩනැඟීමේ ක්‍රියාවලියට දායක වීමට හැකියාව සහ සැලසුම් තිබිය යුතුය. මහා පරිමාණ ලොව පිළිගත් සමාගම් මෙරට ආයෝජනය සඳහා එක් කර ගැනීමට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එහිදී අප ආයෝජකයන්ගේ ආකර්ෂණය සහ අවධානය දිනා ගත හැකි ආකාරයට නීති පද්ධතියේ වෙනස්කම් කළ යුතුය.අර්බුදය විසඳා ගැනීමට IMF සමඟ එකඟ වූ වැඩසටහනක් උපකාරී විය හැකිය. එහෙත් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් අපනයන ආදායම පුළුල් කර ගැනීම අවශ්‍ය වේ. අපේ ආර්ථීක අර්බුදය විදෙස් විනිමය අර්බුදයකි. විදෙස් ණය අර්බුදයක් නම් අපිට විදෙස් විනිමය උපයා ගැනීමෙන් එයින් ගැලවීමට හැකියාව ලැබේ. IMF වෙතින් ලබා ගත් ණය මුදල අපේ රටේ ණය අර්බුදයට හෝ ආර්ථික අර්බුදයට ස්ථිර විසඳුමක් නොවේ. එහෙත් මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමඟ අප රටට නැවත සහතිකයක් ලැබෙයි. මේ ණය ලබා දීමේදී ආර්ථික ස්ථායීභාවය සලකා බැලීම සිදු වෙයි. එනම්, අස්ථායී භාවය දුරුකර ස්ථායී ආර්ථිකයක් ඇති කිරීමයි. මේවා රටකට අවාසිදායක කොන්දේසි නොවේ. මේ ආර්ථික තත්ත්වය ස්ථායී කිරීම සඳහා විවිධ දේවල් සපුරාලිය යුතුව ඇත.
2048 වන විට ලංකාව පොහොසත් රටක් වීමට නම් එයට අවශ්‍ය මූලික පදනම සකස් කරගත යුතුය. එනම්, අපනයන ප්‍රවර්ධනය කරගත යුතුය. ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වය පත් කර ගැනීමට නම් දැනට හිමි වී ඇති ණයවලින් මහ බැංකුවේ සංචිත වැඩි කර ගැනීමට හැකියාව ලැබේ. මේ මඟින් මහ බැංකුවේ විදෙස් සංචිත ප්‍රමාණය වැඩි වෙයි. ඒ තත්ත්වයක් තුළ උද්ධමන වේගය පහළට බැසීම සිදු වෙයි. ලබන වසර වෙන විට 6%කට වඩා පහළට ගෙන ආ යුතුය. ඒ අනුව දැනට පවතින සියලු සංශෝධන සාර්ව ආර්ථික ඉලක්කවලට යෑමට මෙකී උපකාරි වේ.
දැනට පනවා ඇති ආනයන සීමා මඟින් අපේ නිෂ්පාදන ආර්ථිකයට හානි සිදු විය. දේශීය නිෂ්පාදන ව්‍යාපාර කටයුතු පවා බොහෝ දුරට අඩපණ වී තිබුණි. ඒ නිසා ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගනු ලැබිණි. ඉදිරියේදී අපේ ආර්ථීකය හැකිළීම යම් තාක් දුරට අඩුවිය හැකිය. 80% පමණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ආනයනික භාණ්ඩ නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. එහිදී 2024 වසර වන විට ධන ආර්ථික වර්ධනයකට යෑමට හැකි වෙයි. අප අනුගමනය කරන අනෙක් ප්‍රතිපත්ති සංශෝධන මඟින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබෙයි.
IMF මඟින් අපට ඩොලර් මිලියන 330ක් ලැබෙනු ඇත. එමෙන්ම අනෙකුත් බහුපාර්ශ්වීය සහ විදෙස් ණය ලැබීමට හැකියාව ඇත. එහෙත් දිගුකාලීන උපනතිය තීරණය වන්නේ නැවත අපනයන ප්‍රවර්ධනය වීමෙනි. ඒ නිසා අපේ උපනතිය වෙනසක් කර ගැනීමට නම් දිගුකාලීන විනිමය අනුපාතය හැසිරීමේ උපනතිය වෙනස් කරගත යුතුය. එනම්, ජාත්‍යන්තර වෙළෙඳාම ශක්තිමත් කරගත යුතුය. දිගුකාලීන අපනයන ප්‍රසාරණයක් සිදු වන්නේ නම් ඍජු විදෙස් ආයෝජන ගලා ඒම අවශ්‍ය වේ. මීට වඩා පුළුල් ලෙස ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ ප්‍රතිපත්තිමය සංශෝධන රැසක් සිදු විය යුතුය. ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලෙස මේ ණය ලැබීම සැලකිය හැකිය. එහෙත් එය සම්පූර්ණයෙන්ම ආර්ථික අර්බුදයෙන් ගැලවීමක් නොවේ. මේ වන විට මෙරට ඇතිවී තිබෙන අර්බුදකාරී ආර්ථික තත්ත්වය සමනය කළ හැකි වාතාවරණයකට අවශ්‍ය මඟ මේ ණය වාරිකය අනුමත වීමත් සමඟ රටට ලැබෙනු ඇත. එහෙත් මෙය අප රට මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදයට විසඳුමකට වඩා අර්බුදය විසඳීමට ලැබෙන නව පිවිසුමක් ලෙස සැලකිය හැකිය.
කෙසේ වුවත් සියලු පාර්ශ්වවලට රට ගොඩනැඟීමේ ක්‍රියාවලියට දායක වීමට හැකියාව සහ සැලසුම් තිබිය යුතුය. මහා පරිමාණ ලොව පිළිගත් සමාගම් මෙරට ආයෝජනය සඳහා එක් කර ගැනීමට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එහිදී අප ආයෝජකයන්ගේ ආකර්ෂණය සහ අවධානය දිනා ගත හැකි ආකාරයට නීති පද්ධතියේ වෙනස්කම් කළ යුතුය. අද අපේ අසල්වැසි ඉන්දියාවට ජපානය, කොරියාව, චීනය ඇතුළු විවිධ රටවල ලොකු සමාගම් පැමිණ ආයෝජනය කර ඇත. චීනය ඉන්දියාවේ දේශපාලනය සමඟ නොපෑහෙන රටක් වුවද ආර්ථික කරුණුවලදී ඔවුන් ඒවා නොසලකා හැරෙයි. ජපානයේ හොන්ඩා, සුසුකි වැනි අන්තර්ජාතික සමාගම් මෙන්ම කොරියාවේ කියා, හයිහුන්ඩායි වැනි සමාගම් ඉන්දියාව තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමක් සිදු වෙයි. අපට ද මේ රටවල් ආදර්ශයට ගත හැකිය. මහා පරිමාණ සමාගම් ආයෝජනය කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි මාර්ග අප සැකසිය යුතුය.
1977 වසරේදී මෙරට ඩොලරයට ගෙවිය යුතුව තිබුණේ රුපියල් දහසයක මුදලකි. ඒ අගය අද වන විට රුපියල් තුන්සිය පනහ, හැට දක්වා ඉහළ ගොස් ඇත. මේ අවුරුදු හතළිස් පහ තුළ සිදු වූයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යෑමයි. ඒ අතර කාලයෙන් කාලයට විවිධ විශේෂ සාධක නිසා ඩොලරයේ අගය ඉහළ පහළ ගිය අවස්ථා තිබුණි. එහෙත් ඩොලරයේ අගය ස්ථාවර ලෙස පහළ යෑමක් සිදු නොවිණි. අප රට සිදු කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳාම් ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව ඇත. විදෙස් විනිමය ස්ථිර මාර්ග මඟින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වෙයි. එයින් ඩොලරයේ පහළ මට්මමක් වෙත නැවත ගෙන ඒමට හැකියාව ලැබේ. ඒ සඳහා දීර්ඝකාලීන නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. එවැනි ක්‍රමවේදයක් සැකසිය යුතුය. එමඟින් අපට ඩොලරයේ අගය පහළ රඳවා ගැනීමට හැකියාව ලැබේ. අසල්වැසි ඉන්දියාවට පසුගිය වසරේදී ආයෝජනවලින් දහයෙන් පංගුවක් හෝ අපට ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී නැත.