පළාත් සංචරණ සීමා 21 වනදා දක්වා දැඩි කිරීමට ජනපතිගෙන් නියෝග

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශඅවලට නියෝග කර තිබෙනවා.

අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරුණා.

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත ලබාදීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා. අනෙකුත් දිස්ත්‍රික්කයන්හි මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබන 21 වනදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත ලබාදීමට පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදු කෙරේ.

පාසල් ළමුන් එන්නත් කිරීමෙන්  පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව (Booster) ලබාදීමට සැලසුම් කර ඇත. ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලැබීමට නියමිත අතර මේ වන විට ඇණවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා.

පුවත යවන්න