බඩු මිල ඉහළට /උද්ධමනය ඉතිහාසගත ඉහළ අගයක

2021 දෙසැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.0 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ස්‍යමය මතුපිට උද්ධමනය සියයට 12.1 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 12.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.3හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ගැඹුරු විශ්ලේෂණයකින් අනතුරුව පෙනී යන්නේ වත්මන් උද්ධමනය සදහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවයි. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 17.5හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 22.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.4හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේය.

2021 දෙසැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.64ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙලින් සියයට 1.80 කින් සහ සියයට 0.84 කින් ඉහළ යෑම මේ සඳහා හේතුවිය. ඒ අනුව 2021 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ එළවළු, නැවුම් මත්ස්‍ය සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, ප්‍රවාහන (පෙට්රල්, ඩීසල්, කුලී රථ/ ත්‍රීරෝද රථ ගාස්තු) සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (මත්පැන් සහ දුම්වැටි) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

පුවත යවන්න