මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි.
ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත ක්‍රිස්ටින් මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය දැඩිව හෙලාදකිමින් මෙහිදී අදහස් දක්වා තිබුණා.
ඇය පෙන්වා දී ඇත්තේ , මියන්මාරයේ ජනතාව ජන්ද බලයෙන් ලබාදුන් තීරණය අභිබවා යාමට හමුදා පාලනයකට හැකියාව නොමැති බවයි.
මේ අතර සිංගප්පූරු සරසවියේ විශේෂඥයකු වන Elliott Prasse-Freeman බී බී සී ය වෙත කියා සිටියේ චීනය වක්‍රාකාරයෙන් මියන්මාරයේ තත්ත්වය පිළිබද ඉඟියක් ලබාදෙන බවයි.
චීන මාධ්‍ය විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් බවත් එරට කැබිනට් මණ්ඩල සංශෝධනයක් ලෙසත් හදුන්වා දී ඇතැයි ද ඔහු පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පියවරක් ඇරඹීම අර්බුධයක් විය හැකි බවයි Elliott Prasse-Freeman පෙන්වා දෙන්නේ.
මේ අතර වෝල් ස්ට්‍රීට් ජර්නලය පවසන්නේ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අමෙරිකානු – චීන අර්බුධයකට දොරටුව විවෘත කරනු ඇති බවයි.
පසුගිය සමයේ මියන්මාරයේ දේශපාලන හැසිරීම මෙම හමුදා කුමන්ත්‍රණයට බලපා ඇතැයි ද එම වාර්තාවෙන් උපකල්පනය කර තිබෙනවා.- BBC – Wall Street Journal

පුවත යවන්න