තවත් කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනී

ඩෙන්මාර්කයේ ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය සහිත රෝගීන් තිදෙනෙකු කොළඹ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මෙරට තුළ පවතින කොවිඩ් වෛරසයේ ජාන ප්‍රභේද සම්බන්ධයෙන් මාර්තු මාසයට අදාළව සිදුකරන ලද පරීක්ෂණ හරහා මේ බව තහවුරු වී ඇති බවයි ඔහු පැවසුවේ.

කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකුගේ සාම්පල යොදා ගනිමින් මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් 36 දෙනෙකුම ශ්‍රී ලංකාවට ආවේනික B.1.411 වෛරස ප්‍රභේදය සහිත ආසාදිතයින් බව තහවුරු වී තිබුණා.

ඒ අනුව B.117 එංගලන්ත ප්‍රභේදය සහිත ආසාදිතයින් 7 දෙනෙක්, B.1.351 නමින් හඳුන්වන දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය සහිත දෙදෙනෙක් හා ඩෙන්මාකයේ ඇති වෛරස් ප්‍රභේදය සහිත තිදෙනෙකු මෙම පරීක්ෂණය මගින් හඳුනාගනු ලැබුවා.

“B1 428 කියන ඩෙන්මාර්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඇති රෝගීන් 3 දෙනෙකු කොළඹ ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා. ප්‍රබල ලෙස පැතිරුණු එකක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අපි කොළඹ මහනගර සභාව දැනුවත් කරලා තියෙනවා.”

පුවත යවන්න