හෙට (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද ඉතා වගකීමෙන් හැසිරෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
වේගයෙන් පැතිර යන සංකුලතා වැඩි සහ මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙන ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන තිබෙන පසුබිම හේතුවෙන් ඔවුන් එම ඉල්ලීම සිදුකරන බව එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසුවා.
”වගකීමෙන් කටයුතු කළොත් ඉදිරියේදී රට විවෘත කරගැනීමට හැකිවේවි. අපි මුල් කාලේ මරණ ගැන කතා කළේ දවසකට එකයි දෙකයි. පස්සේ 10-15ක් වුණා. ඊට පස්සේ 20ක් 25ක් වුණා. දැන් දිනක මරණ 50 ඉක්මවලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක වගකීම ඉටු කළේ නැත්නම් දිනක මරණ 100 ඉක්මවා යාම ගැන පුදුම වෙන්න ඕන නැහැ. සති කිහිපයක් රට වසා තැබීම නිසා ඇතිව තිබෙන පීඩනය නිසා තමයි මෙහෙම ලිහිල් වෙන්නේ. ඒ නිසා ඒ කාලයේදී වගකීමෙන් හැසිරෙන්න.”