ඔක්තෝබර් 01 වැනිදා සිට පෞද්ගලික බස්රථවලදී මගීන් හා සේවකයන් පිළිපැදිය යුතු නීතිරීති මාලාවක් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සභාපතිවරුන්ගේ සංසදය මගින් නිකුත් කර තිබේ.
ඒ අනුව 01 වැනිදා සිට ධාවනයේ යෙදෙන පෞද්ගලික බස්රථවල සේවකයන් දෙපළම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගෙන සිටීම අනිවාර්ය බව එම සංසදයේ සභාපති නිලන්ත ඒකනායක පැවසීය.
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කෙරෙන 01 වැනිදා සිට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ නියාමනය වන බස් රථ ධාවනය වන ආකාරය ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23 වැනිදා) දඹුල්ලේ ද පැවැති අතර එහිදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
මේ අනුව බස් රථ සේවකයන් සහ මගීන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවත් එහි වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවත් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහන කළ යුතු අතර රජයේ හා පෞද්ගලික ඇතුළු විවිධ වෘත්තිකයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවත් කියා සිටී. එමෙන්ම වැඩිපුර මුදල් අයකර ගැනීමක් සිදු නොකළ යුතු අතර බස් රථවල සිඟමන් යෙදීම තහනම් බවද මෙම නීතිරීති මාලාවේ වේ.
බසය තුළ බුලත් විට සැපීම හා දුම්පානය කිරීම ද තහනම්ය. එහි පූර්ණ වගකීම කොන්දොස්තරවරයා සතුවේ. සිවිල් ඇඳුමෙන් සැරසුණු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල ජංගම පරීක්ෂකවරුන් දිවයින පුරා යොදවා මෙම නීතිරීති ක්‍රියාත්මක කිරීම ගැන සොයා බලන බවද සභාපති සංසදය කියා සිටී.
තවද කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පෞද්ගලික බස් හිමියා වැටී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන එම බස් හිමියන් වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය රුපියල් පනස් දහසක් වටිනා වාර්ෂික පැකේජ් ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ධාවනය වන බස් රථද සෞඛ්‍ය උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් ධාවන කටයුතු පවත්වාගෙන යන බව එම ආයතනය සඳහන් කරයි.