කොරෝනා හැදුණු මැති ඇමතිවරුන් කියන කතා

කොරෝනා වෛරසය වැළඳුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 7 ක් බවට මේ වන විට පත්ව තිබෙනවා.මේ වෛරසය ආසාදිතවූ මැති ඇමතිවරුන් අරුණ පුවත්පතට තම අත්දැකීම් හෙළිකර තිබූ ආකාරයයි.

ලංකාවට කොරෝනා ඇවිත් ගිය සතියට හරියටම අවුරුද්දකි. එම වයිරසය මුලින්ම වැලඳුණේ ලංකාවේ සංචාරයට පැමිණි චීන කතකටය. ඉක්බිතිව ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නකුටත් රෝගය හැදුණේය. එතැන් සිට කොරෝනා පළමු රැල්ල රට පුරා රවුම් ගැසුවත් ඊට ගොදුරු වූවේ සාමාන්‍ය ජනතාවය. එනමුත් කොරෝනා දෙවැනි රැල්ල දුප්පතාටද, පොහොසතාටද, ආණ්ඩුවේ කන්තෝරුවේ රාජකාරි කරන සේවකයාටද පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ආදී උස් පහත් භේදයක් නැතිව පැතිරී ගියේය. දැන් දෙසතියක සිට මුළු රටම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා වැලඳීම ගැනය. මුලින්ම කොරෝනා හැදුණේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට. ඊළඟට ඇමැති ආරක්ෂකයන්ටය. අන්තිමේදී මැති ඇමැතිවරුන්ටත් කොරෝනා හැදුණේය.

කොරෝනා මුලින්ම හැදුණේ බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටය. රෝගය වැලඳී නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබුවද අන්තිමේදී ඔහුටත් මුහුණ දීමට සිද්ධ වී ඇත්තේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයකදී මුහුණ දෙන අත්දැකීම් පෙළකටය. අයිඩීඑච් රෝහලේ හැර අනෙකුත් රෝහල්වල ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන් කී කතාවක් වන්නේ කාර්ය මණ්ඩල තමන් ළඟට එන්නේ බියෙන් බවය.

‘‘මට මුලින්ම උණ ගතිය තිබුණා. ඇඟපත අමාරුව ආවා. එම නිසා ඩෙංගු රෝග පරීක්ෂණය හා පීසීආර් පරීක්ෂණය එකවර කළා. පීසීආර් පරීක්ෂණය පොසිටිව් වුණා. කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වූ පසු ජීවිතය කඩා වැටුණා. ඊට හේතුව වූයේ ජනතාව සමග සිටින මම දින දහ හතරක් කාමරයකට වී සිටීමයි. එය හරිම දුෂ්කර කාර්යයක්.

පරීක්ෂණ වාර්තාව ලැබුණ දිනයේම මම හික්කඩුව කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයට ආවා. පසුදින උදෑසන කෑම අරගෙන මගේ කාමරයට ආපු පුද්ගලයා කෑම එක තියලා දිව්වා. මම සොයා බැලුවා. ඔවුනුත් රෝගයට බයේ සේවා කටයුතු කරන්නේ. පැය 24ක් දින දහ හතරක් කාමරයකට වෙලා ඉන්නකොට හරිම අමාරු වුණා. සෑම දිනකම උදේ 11.00ට විතර පැයක කාලයක් කාමරයෙන් එළියට රැගෙන අව්වේ තියනවා.

මම කියවන්න පොත් අරගෙන ආවා. නමුත් පොත් කියවන්න පුළුවන් මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. ජනතාවගෙන් ලැබෙන දුරකථන ඇමැතුම්ද වැඩි නිසා දුරකථනයද විසන්ධි කර තිබුණා. ගෙදර ඇවිත් බලන විට කෙටි පණිවුඩ 2000ක් විතර තිබුණා. ලැප්ටොප් පරිගණකයක් ගෙනැත් අමාත්‍යාංශයේ හා දිස්ත්‍රික්කයේ රාජකාරි කටයුතු කළා.

මා හිතන විදිහට කොවිඩ් රෝගය පිළිබඳව මාධ්‍ය මගින් විධිමත් දැනුවත් කිරීමක් කළ යුතුයි. රෝගීන් කී දෙනෙක් හම්බ වුණාද? ඔවුන් ඉන්නේ කොහෙද කියා කියන එක නතර කළ යුතුයි. රෝගය පිළිබඳව දැනුවත් කර උණ, ඇඟේ අමාරුව තිබෙන අය නිවසේ වෙනම කාමරයක සිටීම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. කෑමබීම පවා වෙනම ගත යුතුයි. අපේ ජනතාව සරම්ප, පැපොල වගේ රෝග වළක්වා ගත්තේ නිවසේ ආරක්ෂිතව සිටීමෙන්. ඒ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මගේ යෝජනාව නම් නිවස තුළ නිරෝධායනය කිරීම ඉතාම වැදගත් බව. මොකද මම මානසික අතින් මෙතරම් වැටුණා නම් සාමාන්‍ය මිනිසකු කොහොම මානසික අතින් වැටෙනවා ඇතිද? කොවිඩ් පාලනයේ වැරදි මුහුණු පොත ඔස්සේ විවිධ පුද්ගලයන් පළ කරනවා. අපේ රටේ කොවිඩ් පාලනය හොඳයි. මේ රජයේ වැඩපිළිවෙළ හොඳයි. නමුත් අගය කිරීමක් නැහැ.’’

දයාසිරි ජයසේකර ඇමැතිවරයාට පසු කොරෝනා හැදුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටය.

‘‘මට උණ තිබුණා, ඇඟපත අමාරුව තිබුණා. එම නිසා පවුලේ වෛද්‍යවරයා හමුවෙලා ප්‍රතිකාර ගන්න හැදුවා. එවිට වෛද්‍යවරයා ප්‍රකාශ කළා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදු කළ යුතු බවට. ඒ නිසා මම කොළඹ පෞද්ගලික රෝහලකින් පරීක්ෂණය කළා. වාර්තාව පොසිටිව්. ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන කටයුතු භාර වෛද්‍යවරයකුගේ උපදෙස් මත මම මේ ගැන කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දුන්නා.

මම පදිංචිව සිටින හැව්ලොක් ටවුන්හි භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ ගෙදර අය නිරෝධායනයට ලක් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලන් රථයක් සූදානම් කර දුන්නා’’ ඔහු කීවේය.

රවුෆ් හකීම මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලැබුවේ කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයකය. එය යුද හමුදාවෙන් පාලනය වන මධ්‍යස්ථානයක්. දින 14ක ප්‍රතිකාරවලින් පසු මන්ත්‍රීවරයා ගෙදර ආවේය.

‘‘ඒ දින දහහතර තුළ වැඩියෙන්ම කළේ පොත් කියවපු එක. යන විට පොත් 12ක් විතර අරගෙන ගියා. ආධාරකරුවන්, හිතවතුන්, දේශපාලනඥයන් දිනපතා මට දුරකථනයෙන් කතා කළා. දින තුනක් විතර යනකොට අමාරුව අඩුවුණා. මට රෝගය වැලඳුණ අවස්ථාවේදී වෛද්‍යවරුන් කී‍වේ රෝහල්ගත කිරී​ෙ‍ම් අවශ්‍යතාවක් නෑ කියලා. සමාජය තුළ මතයක් තියෙනවා කොවිඩ් පාලන කටයුතුවලදී ප්‍රභූ පැලැන්තියට වෙනම සැලකිල්ලක් තියෙනවා කියලා. නමුත් මමත් මුදල් ගෙවා සිටියේ. ලක්ෂ දෙකකට වැඩි බිලක් ගෙවීමට වුණා. රජයේ පහසුකම් තිබෙනවා. මෙම වයිරස් රෝගය ලෝක වසංගතයක්. මහජන නියෝජිතයන්ට වගකීමක් තියෙනවා ජනතාවට පූර්වාදර්ශයක් දෙන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. රෝගය පිළිබඳ අනවශ්‍ය භීතිකාවක් මවා තිබෙන බව මට පැහැදිලි වුණා. සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් මෙම රෝගය මාරාන්තික නැහැ. එහෙම වුණොත් නිරෝධායන මධ්‍යස්ථානවලට නොගොස් නිවසේම ස්වයං නිරෝධායනයට ලක්වෙන්න පුළුවන්. රජය සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා කියනවා. එය ප්‍රෝඩාවක්. රෝගය දේශපාලනීකරණය කිරීම වැරදියි. ඇත්ත තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුයි.’’

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා නතරව සිටි නිරෝධායන මධ්‍යස්ථානයේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තත් ප්‍රතිකාර ලැබූහ. රත්නපුරයෙන් පාර්ලිමේන්තුවට පත් වුවත් වාසුදේවගේ ගම හබරාදූවය. එසේ බලන විට ඔහු ප්‍රතිකාර ලබන්නට අන්තිමට ආවේ තමන්ගේ ගමටය. ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කියන්නේ කොරෝනා වැලඳුණු වයස්ගතම මන්ත්‍රීවරයා තමා බවය. මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබමින් සිටියදී පියල් නිශාන්ත ඇමැතිවරයා සමග කතාබස් කළේය. දින 14ක නිරෝධායනය අවසන් වී එන දවසේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා හමුවෙලා කතා කර ඔහු කොළඹ ආවේය.

‘‘කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි මම තව දින හතක් නිරෝධායනය වෙනවා. සෞඛ්‍ය නීතිරීති හා උපදෙස් අනුව නිරෝධායනය වන නිසා සඳුදා (01) දිනෙන් පසු ප්‍රකාශයක් කරන්නම්. විවේකය අවශ්‍යයි’’ ඇමැතිවරයා අපට කී‍වේය.

වාසුදේවගෙන් පසු කොරෝනා වැලඳුණේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය, පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාටය. ඔහු පාර්ලිමේන්තුවේ ධම්මික පැණිය බිවූ අයෙකි. එනමුත් අන්තිමේදී ඔහුත් රෝගි වූවේය.

‘‘මගේ බිරිඳට තමයි මුලින්ම උණ ගතිය, ඇඟ රිදීම තිබුණේ. එම නිසා මම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දුන්නා. මගේ පවුලේ අයට පීසීආර් පරීක්ෂණය කළා. එහිදී මටත්, බිරිඳටත්, දියණියටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

මම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටත් කතා කරලා විස්තරය දැනුම් දුන්නා. ඇය ප්‍රකාශ කළා යුද හමුදාවෙන් පාලනය වන කොග්ගල මධ්‍යස්ථානය හොඳයි කියලා. ඒ අනුව අපි තුන්දෙනාම මෙම මධ්‍යස්ථානයට ආවා. කොවිඩ් වැලඳිලා කියලා දැනගත්තට බයක් දැනුණේ නැහැ. දින දෙකක් විතර යනකොට සියලු අමාරුකම් නැතිවෙලා ගියා. ඉන්පසු රෝගය අභියෝගයක් ලෙස සැලකුවේ නැහැ. දින දහ හතර තුළදී තාක්ෂණය භාවිත කරමින් අමාත්‍යාංශයේ හා දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු මෙහෙයවූවා. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය හොඳට සැලකුවා.

නිරෝධායන මධ්‍යස්ථානයේ ගත කළ කාලය හරිම සුවිශේෂියි. මමත්, බිරිඳත් විවාහ වූ දිනය යෙදී තිබුණේ ජනවාරි 23 වැනිදාට. එහිදී මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සහයෝගය මත කේක් ගෙඩියක් ගෙනැල්ලා නිරෝධායනය වෙමින් සිටි අපි විවාහ සංවත්සරය සැමරුවා. එය අපි දෙන්නට අමතක කරන්න බැරි සිද්ධියක්. මෙම රෝගය භයානක රෝගයක් නෙවෙයි. මට හැදුණ නිසා මම දැන ගත්තා. අපේ සෞඛ්‍ය සේවය දෙන උපදෙස් හරියටම පිළිපැදීමෙන් රෝගය පාලනය කරගන්න පුළුවන්. අභියෝගයට සාර්ථකව මුහුණ දිය යුතුයි.

මට රෝගය හැදුණ වෙලාවේ දිස්ත්‍රික්කයේ ජනතාව බෝධි පූජා පවා පැවැත්වූවා. ඒවයේ ඡායාරූප මට යොමුකර තිබුණා. සුව දුක් විමසලා දුරකථන ඇමැතුම් විශාල සංඛ්‍යාවක් ආවා. මම ධම්මික පැණිය ගැනත් කිව යුතුයි. එය අති​රේක ආහාරමය පානයක් ලෙස භාවිත කිරීම සුදුසු බව ආයුර්වේද දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා. ඉන්පසුව තමයි මම භාවිත කළේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව මගේ විශ්වාසයක් තිබෙනවා. අනෙක ආයුර්වේදය අනුමත කිරීම නිසා තමයි භාවිත කළේ. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින විට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා හා රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද හමුවී කතාබහ කළා’’ ඔහු අපට කී‍වේය.

පියල් නිශාන්ත ඇමැතිවරයා ප්‍රතිකාර ගන්නා අතරේ දැනගන්නට ලැබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටද කොරෝනා වැලඳී ඇති බවය.

‘‘රජය විසින් ආරම්භ කර ඇති ‘වැඩ සමග යළි ගමට’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යටිනුවර ආසනයේ ගමින් ගමට ගොස් සති ගණනාවක් රැස්වීම් පැවැත්වූවා. මට හිතුණා ජනතාව සමග ගැවසෙන නිසා පීසීආර් පරීක්ෂණයක් කළොත් හොඳයි කියලා. ඒ අනුව කඩුගන්නාව දිසා රෝහලට ගොස් මම පරීක්ෂණයක් කරගත්තා. මම විශේෂ වරප්‍රසාදයක් ගත්තේ නැහැ. ජනතාව අසීරුතාවට පත් නොකිරීම මගේ අරමුණ වුණා. මට පීසීආර් පරීක්ෂණය කළත් කිසිදු රෝග ලක්ෂණයක් තිබුණේ නැහැ.

පරීක්ෂණය කළේ පසුගිය 16 වැනිදා. මම නිවසට වී දින තුනක් ගත කළා පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු. නමුත් වාර්තාව ලැබුණේ නැති නිසා මම පාර්ලිමේන්තු රැස්වීමටද සහභාගි වුණා. මිනිස්සු ගෙදරට ආවා. පාර්ලිමේන්තුවේදී මගේ කතාව කළත් මම මන්ත්‍රීවරු හම්බ වුණේ නැහැ. දින අටකට පසු පසුගිය 24 වැනිදා රාත්‍රි දහයට පමණ තමයි පීසීආර් වාර්තාව ලැබුණේ.’’

මන්ත්‍රීවරයා පමණක් නොව, බොහෝ දෙනා චෝදනා කරන්නේ පීසීආර් වාර්තා ප්‍රමාද බවය. වාර්තාව එන විට අශ්වයා ඉස්තාලයෙන් පලාගොස් ඉවරය. සිය වාර්තාව ප්‍රමාද වීම ගැන මන්ත්‍රීවරයා කියන්නේ මෙසේය.

‘‘වාර්තාව ප්‍රමාද වීම ගැන සොයා බලන විට සාම්පල මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට යොමුකර පරීක්ෂණ පවත්වා තිබෙන බව දැනගන්නට ලැබුණා. එම රෝහලේ යන්ත්‍රසූත්‍රවල හිඟයක් තිබෙනවා. සාම්පල සමග එකම දවසේ පුද්ගල නාම ලේඛනද යවන්නේ නැතිලු. තවද සෞඛ්‍ය බලධාරීන් ප්‍රශ්න රැසකට මුහුණ දී තිබෙනවා. මට පරීක්ෂණ වාර්තාව ලැබුණ දින මහනුවර පෞද්ගලික රෝහලකින් ක්ෂණික ප්‍රතිදේහ පරීකෂාවද කළා. එහිදී ද මම පොසිටිව් වීම නිසා නිවසට පැමිණ වෙනම සිටියා. ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මතයි. මම ක්ෂණිකව මුහුණු පොතේ පළ කළා ‘මා සමග පසුගිය දිනවල සිටි අය වෛද්‍ය පරීක්ෂණවලට ලක්වෙන්න’ කියලා. පවුලේ අයගෙත් පීසීආර් පරීක්ෂණ කළත් ඔවුන් පොසිටිව් වුණේ නැහැ.

නිවසේ සිටි කාලය තුළ මට කිසිදු අමාරුවක් තිබුණේ නැහැ. ආහාර අරුචියක් තිබුණෙත් නැහැ. මම තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගියේ 27 වැනිදායි. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගයට බිය වෙන්න එපා. සෞඛ්‍ය නීතිරීති පිළිපදින්න. මෙය භයානක රෝගයක් නෙවෙයි, අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය හොඳයි. රෝගීන් දෙස වපර ඇහින් බලන්න එපා. මම නිසා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට පීඩාවක් වුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා.

හැබැයි පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමේ හේතුවට පිළියම් යෙදිය යුතුයි. මොකද මම පීසීආර් පරීක්ෂණයට භාජනය වූයේ 16 වැනිදා. ප්‍රතිඵල ලැබුණේ 24 වැනිදා. දින අටකට පසුව ලෙඩක් තියෙනවා කියා දැන්වීම හිතාගන්න බැරි ප්‍රශ්නයක්.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය, අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුත් දැන් සිටින්නේ කොරෝනා රෝගීන්ගේ ලැයිස්තුවේය.

‘‘මට සතියක පමණ කාලයක් උණ වගේ තිබුණා. පීසීආර් පරීක්ෂණ තුනක් සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් කළත් කොවිඩ් පොසිටිව් වුණේ නැහැ. එම නිසා තෙල්දෙණිය, උඩුනුවර හා පාතදුම්බර ආසනවල පැවති පොදුජන පෙරමුණේ රැස්වීම්වලටද සහභාගි වුණා. වලපනේ තිබුණ කිතුල් නිෂ්පාදකයන්ගේ රැස්වීමකටද සහභාගි වුණේ ඇමැති සී.බී. රත්නායක සමගයි. මහනුවරදී මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට සැලසුම් කර තිබුණත් ඇඟේ අමාරුව නිසා සහභාගි වූයේ නැහැ.

පසුගිය ඉරිදා මහනුවර සිට කොළඹට එන විට උණ ගතිය වැඩිවුණා. ඒ අනුව ඉරිදා පෞද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණයක්ද කළා. පරීක්ෂණ ප්‍රතිඵල ඒමට පෙර මම අඟහරුවාදා අමාත්‍යාංශයට ආවා. ඇවිත් අමාත්‍යාංශයේ වැඩ කරලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙ රැස්වීමකටද සහභාගි වුණා. පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආවේ බදාදා අලුයම තුනට විතර. ඒ වෙනකොට මම අමාත්‍යාංශයට ගිය නිසා කාර්ය මණඩලයේ අසූවකට පමණ ස්වයං නිරෝධායනයට ලක්වෙන්න වුණා. කොවිඩ් වැලඳුණා කියලා දැනගත්තට බයක් ඇතිවුණේ නැහැ. සෞඛ්‍ය නිලධාරීන් දෙන උපදෙස් අනුව කටයුතු කරන්න. ජනතාව බිය විය යුතු නැහැ. ජනතාව සමග කටයුතු කරන මම දින දහ හතරක් එක තැනට වී සිටීම තමයි ගැටලුවක් වන්නේ’’ ඔහු කීවේය.

මේ වනවිට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිටද කොරෝනා වැලඳී ඇත්තේය. හික්කඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයක විවේක සුවයෙන් සිටි ඇය පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බොරලැස්ගමුවේ රෝහලට පසුගිය බ්‍රහස්පතින්දා (28) ඇතුළත් කර තිබේ. ඇය හදිසියේ රෝහල්ගත කළ බව ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න ප්‍රකාශ කළේය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රි​යේ ඇය බොරලැස්ගමුව රෝහලේ සිට අයිඩීඑච් රෝහලට මාරු කර එවා තිබුණි. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර සිටීම නිසා සෞඛ්‍ය ඇමැතිවරිය සමග කතා කිරීමට අපට හැකිවූයේ නැත.

උදයජීව ඒකනායක -සති අග අරුණ

පුවත යවන්න