රත්මලාන ගුවන් තොටුපලෙන් ජාත්‍යන්තර ගුවන් ගමන්

ජනවාරි 29 දා සිට  කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල(රත්මලාන ගුවන් තොටුපළේ) සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව  ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා.

ආරම්භයේ දී දකුණු ඉන්දියාව, මාලේ  වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරුණු  අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම නවතා දමා තිබුණා.

නව මෙහෙයුම තුල ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් මේ වන විටත් කැමැත්ත ඵල කර තිබෙනවා.

තවත් ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා  පවත්වමින් පවතින අතර එම සාකච්ඡාද සුබවාදී බව  ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශය පැවසුවා.

මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්,  පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා සහ  ගුවන්  යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කිරීමට නියමිතයි.

පුවත යවන්න