උතුරේ දූපත් 3ක චීන බලශක්ති ව්‍යාපෘතිවලට ඉන්දියාවෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් 3ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් පළ කර ඇතැයි වාර්තා වනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ අර්බුධය හට ගැනීමට පෙරම ඉන්දියාව මෙම විරෝධය පල කර තිබූ බවයි.
මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ජනවාරි 18 දා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.
රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආරක්ෂක අවදානම මුල් කර ගනිමින් ඉන්දියාවේ මෙම විරෝධය මතුව ඇති බවයි.
ඩෙල්ෆ්ට් දූපත, අනලතිව් සහ නයිනතිව් දූපත්වල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒවා ඉන්දියාවට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබෙනවා.
ඩෙල්ෆ්ට් දූපත ඉන්දියානු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් සිට කිලෝමීටර් 48 ක් තරම් ආසන්නයෙන් පිහිටා පවතිනවා.
පවත්නා බලශක්ති ජාලයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රවේශ විය හැකි බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් දූපත් තුනෙහි දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවමින් මෙම ටෙන්ඩර් ලබාදී තිබුණා.

පුවත යවන්න