ආසාදිතයින් වාර්තා වීම අඩුවූ පමණින් කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් ඇතැයි අනුමාන කළ නොහැකි බව බලධාරීන් මෙන්ම මහජනතාවද අවධාරණය කර ගත යුතු යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේද පැවැසීය.
පසුගිය දින කීපය තුළ කොරෝනා ආසාධිතයින් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවක් දක්නට තිබෙනවා. එය සතුටුදායක තත්ත්වයක්. නමුත් මේ අඩුව මුල් කර ගෙන කොවිඩ් අවදානම අප රට තුළින් පහව ගොස් ඇති බවට හෝ පහව යමින් තිබෙන බවට කිසිවෙකුත් අනුමාන කළ යුතු වන්නේ නෑ. අපි තවමත් ඉන්නේ අවදානම් තත්ත්වයක බව මතක තබා ගත යුතු වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට ලෝකය තුළ කොරෝනා අවදානම වැඩි වී තිබෙනවා. එහෙම නම් අපි පමණක් අවදානමෙන් ඉවත් වන්නේ නෑ. ඒ නිසා අපි බලධාරීන්ට කියා සිටින්නේ හැකි තරම් අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලෙසයි. එවිට සමාජ තුළ සිටින ආසාධිතයින් අපට හදුනා ගත හැකි වනවා.එසේ නොකර මෙම රෝග තත්ත්වය පාලනය කළ නොහැකි බවටයි අපි විශ්වාස කරන්නේ.
ජූඩ් සමන්ත – පුත්තලම