කොරෝනා එන්නත් ගැන ව්‍යාජ මතවලට රැවටෙන්න එපා / ජනතාවට ඉල්ලීමක්

කොරෝනා එන්නත් පිළිබද මහජනතාව තුල බියක් ඇති කරන මිථ්‍යා සහ වැරදි මත කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ එල් රණසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ සමාජයේ ඇතැම් පාර්ශවයන්ට එන්නත ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳ මේ හරහා සැකයක් මතුවීම සමඟ එන්නත් ලබා ගැනීමට ජනතාව පසුබට විය හැකි බවයි.
ඇතැම් සෞඛ්‍ය සේවකයන් තුල ද එම සැකය පවතින බවයි එල් රණසංහ මහතා පැවසුවේ.
දැනට ලංකාවේ භාවිත කරන ඔක්ස්ෆර්ස් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නියමිත ක්‍රියාවලියෙන් පසුව ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර තිබෙනවා.
එසේම බ්‍රිතාන්‍යයේ හා යුරෝපා සංගමයේ පරීක්ෂණ මගින් ද එන්නත අතුරු ආබාධ අවම හා සාර්ථක බවයි තහවුරුව ඇත්තේ.
මේ අනුව, එන්නත සඳහා සුදුසුකම් ඇති සෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන්ම වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය ඉල්ලා සිටියේ කිසිදු ප්‍රමාදයකින් තොරව එය ලබා ගන්නා ලෙසයි.
දැනට වසංගතයට එරෙහිව පවතින හොඳම විසදුම එය පමණක් බවද සංගමය පෙන්වා දෙනවා.

පුවත යවන්න