සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සමට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අද අභියාචනාධිකරණය හමුවේ අවසන් කෙරුණා.
පෙත්සමට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 23 වනදා ගොනු කිරීමට පියවරගන්නා ලෙසයි අධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කළේ.
අදාළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද ? නැද්ද ? යන්න පිළිබඳ නියෝගය ප්රකාශයට පත්කරන දිනය ලබන 24 වනදා නියම කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන්කර තිබුණා.
අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සිය දේශන ඉදිරිපත් කිරීම අවසන් කළ අතර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ද සිය පිළිතුරු දේශන ඉදිරිපත් කර තිබුණා.
පසුගිය දා පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිපතිවරයාගේ පාර්ශවය ඉල්ලීමක් කර තිබුණේ ,මෙම පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂේප කරන ලෙසයි.