“මේ රට කවර ආකාරයේ ප්රචණ්ඩත්වයකටවත් කවර ආකාරයේ ගැටුම්කාරී තත්වයකටවත් කවර ආකාරයේ නොසන්සුන් තත්වයකටවත් යන එකට එකඟ නැහැ. එහෙම තත්වයක් අපේ රටේ ඇති නොවිය යුතුයි. අපි ඒවගෙන් වද වේදනා විඳපු මිනිස්සු. අපි දන්න සමීපතමයන් මියගියා ඒ කටුක අත්දැකීම්වලින්. නැවත එවැනි තත්වයක් අපේ රටේ නිර්මාණය වියයුතු නැහැ. ඒ නිසා, එවැනි තත්වයක් නිර්මාණය කරන්න උත්සාහ කරන, මේ තරුණ ඇමතිවරු ඉන්නවා තරුණ මන්ත්‍රීවරු ඉන්නවා, තමුන්නාන්සේලාට දිගු අනාගතයක් තිබෙනවා. මේපාර විතරයි සමහර අයට පාර්ලිමේන්තුව තියෙන්නේ. මේ පාර විතරයි සමහර අයට ජනාධිපති පුටුව තියෙන්නේ. ඒ නිසා තමන්ගේ වාරය ආරක්ෂාකරගැනීම වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරු අපේ රටේ අනාගතය බිලිදෙන්න ඕනද? ඒ නිසා මම නියොජ්‍ය අමාත්‍ය තුමාගෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමාලා තීන්දුවක් ගන්න මේ ගැන. මේ කරන අපරාධයට ඉඩදෙන්න එපා. මේ රටේ තරුණ ජීවිතත් එක්ක, මේ රටේ මහජනයත් එක්ක කරන ලේ වැකි සෙල්ලමක් කරන්න මේ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ ලේ වැකි සෙල්ලම සහතික වශයෙන් ගරු මන්ත්‍රීතුමනි පරාජයට පත්කරනවා. ඔහු මොන දහංගැට ගැහුවත් මොන උපක්‍රම හැදුවත් රනිල් වික්‍රමසිංහ මේ ගහන්න හදන සියලු දහංගැට ජනතා බලය හමුවේ පරාජයට පත්කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අද පාර්ලිමේන්තුවේද අවධාරණය කළේය.
ඒ ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිණි.
එහිදී ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,
“විශේෂයෙන්ම මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව විවිධ සංවාද මතුවෙලා තිබෙනවා. එක මේ මුදල් නැහැ කියන කරුණ. ආණ්ඩුව මේ අවුරුද්දට ඇස්තමේන්තු කරල තියෙනවා බිලියන 3,400ක්. ඒකෙන් 3000ක් ලැබුණත් දවසක ආදායම බිලියන 08යි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තිබෙනවා ඔවුන් බිලියන 10ක් ඉල්ලුවත් බිලියන 08ක් තමයි ඔවුන්ට වැය වෙන්නේ කියලා. ඒ කියන්නේ දවසක ආදායම. ඒ වගේම ගරු මන්ත්‍රී තුමනි, ඡන්දයක් තියාගන්න රුපියල් බිලියන 10ක් හොයාගන්න බැරි තරමට බංකොලොත් කළානම් මේ රට, රුපියල් බිලියන 10ක් වැය කරගන්න බැරි තරමට හින්දුවනම් මේ භාණ්ඩාගාරය මේගොල්ලො ගෙදර යන්න ඕනා.
මනිස්සුන්ට කොහොමද කන්න දෙන්නේ? මිනිස්සුන්ට කොහොමද බෙහෙත් දෙන්නේ? මිනිස්සුන්ට කොහොමද අනෙක් අවශ්‍යතා සපුරන්නේ? බිලියන 10ක ඡන්දයක් තියාගන්න බැරිනම්. ඒ නිසා තමයි ඡන්දයක් ඕනා. භාණ්ඩාගාරයේ තිබෙන කෝටි ප්‍රකෝටි ගණන් ධනය, මේ අවට ඉන්න කණ්ඩායමකගේ ගෙවල්වලට ඇදලා, පොදි බැඳගෙන, රටේ ආර්ථිකය විනාශ කරලා, දැන් ඡන්ද තියන්න සල්ලි නැහැ කියනවා. ඒ නිසාම තමයි ඡන්දයක් ඕනා. ඡන්දයකට වියදම් කරන්න බැරි තරමට රට බංකොලොත් කළානම්, ඒ බංකොලොත් කල අයට ඡන්ද නොතියා ජනතාවගේ කැමත්තක්, ජන වරමක් නැතුව බලයේ ඉන්න පුළුවන්ද? මේක නිකන් අර සෝමාලියාවේ හොරු කණ්ඩායමක් නැවක් අල්ලගත්තවගේනේ. රටක් අල්ලගෙන ඉන්නවා හොරු කණ්ඩායමක්. අල්ලගෙන කියනවා භාණ්ඩාගාරය හිඳිලා ඡන්ද තියන්නේ නැහැ කියලා.
ඊලඟ ජනාධිපතිවරණේ එනවා. ඊලඟ පත්වන හැම ආණ්ඩුවක්ම භාණ්ඩාගාරය හිස් කරනවා. හිස් කරල කියනවා සල්ලි නැහැ ඡන්ද තියන්න. ඒ නිසා ආණ්ඩුවක් කරන්න ඕන රට හදනඑක නෙවෙයි රට විනාශ කරන එක. රට විනාශ කරපුවාම, සල්ලි හින්දපුවාම, වියදම් කරන්න සල්ලි නැතිවුනාම කියන්න පුළුවන් ඡන්ද තියන්න සල්ලි නැහැ. අපි කියන්නේ සල්ලි හින්දපු නිසාම තමයි ඡන්දයක් ඕනා. මොකද අධිකරණ අමාත්‍ය තුමාට අපි නිශ්චිතව ඉදිරිපත් කළා, දැනට විපක්ෂය විසින් සංශෝදනයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ මැතිවරණයට බලපාන්නේ නැති ආකාරයට මේක සම්මතකරනවානම් අපි කැමතියි.
දෙක, විශේෂයෙන්ම කමිෂන් සභාවට නිර්දේශ සකස් කිරීමේදී ස්වාධීන කණ්ඩායම් කැඳවීම සඳහා දාල තියෙන ස්වාධීන කණ්ඩායම් කින වංගන්තිය ඉවත්කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. එහෙම වුනොත් අපි මේකට සහාය දෙන්න කැමතියි.
හැබැයි මේ ගොඩක් අය කියනවා මේ දේශපාලනය කළු වෙලා තියෙන්නේ මේ ඡන්දවලට සල්ලි වියදම් කරන අයගෙන් කියලා. ඔව් අපි දන්නව, මේ ඡන්දවලට කුඩු ව්‍යාපාරිකයන්, පාතාල නායකයන් විවිධ ජාවාරම්කරුවන් අපේක්ෂකයන් අල්ලගෙන සල්ලි වියදම් කරලා ඒ ගොල්ලෙන් රුචි අරුචිකම් අනුව වැඩ කරන එක ඇත්ත. හැබැයි දේශපාලනය මුළුමනින්ම කළු වෙලා තියෙන්නේ එතනින් විතරක් නෙවෙයි. දැන් අපි ඡන්දෙන් සීමා හැදුවොත් ඕගොල්ලො ඡන්දෙට සල්ලි දෙන්න එපා කියලා ඊලඟට මොකද කරන්නේ? එයාට ඉඩම් ගන්න සල්ලි දෙනවා. එයාට ගෙවල් ගන්න සල්ලි දෙනවා. එයාට ඕස්ට්‍රේලියාවෙ වතු ගන්න සල්ලි දෙනවා. ඒත් කප්පම්නෙ. ඒක නිසා මේක නතර කරන්න ඕනකම තියෙන්නේ අපේ රටේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරලා, වංචා දූෂණ කරපු අයට දඬුවම් කරලා, ඒගොල්ලො හිරේ යවල තමයි මේ සල්ලි පොම්ප කරන එක නතර කරන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ නීතියකින් විතරක් නෙවෙයි. හැබැයි එහෙම නීතියක් ගේනවානම් අපි පක්ෂපාතියි.
ඊලඟ තමයි, අලි සබ්රි මැතිතුමා මේක විශේෂයෙන් කතා කරලා හරි ලස්සන දවටනයක් මේකට ගෙනාවා. අලි සබ්රි, අධිකරණ ඇමති මේකට ඉතාමත් හොඳ දවටනයක් ගෙනාවා. මේක මුදල් නාස්තිය නතර කරන්න, පාතාලෙ දේශපාලකයෝ මෙහෙයවනවා, කළු ජාවාරම්කාරයෝ දේශපාලකයෝ මෙහෙයවනවා. මේක නතර කිරීම සඳහා මේ පනත ගේන්නේ කියලා. ඔව් දවටනය හොඳයි. හැබැයි අරමුණ වසගුලියක්. ඉතා හොඳ අරමුණකින් ඔතන ලද වස ගුළියක් මේ පනත. තමුන්නාන්සේලා කවුද, මොන ශිෂ්ඨසම්පන්න පාර්ලිමේන්තුවක්ද තීරණය කරන්නේ මැතිවරණයක් ක්‍රියාත්මකවෙලා තිබියදී මැතිවරණ නීතියක් වෙනස් කරන්න. ගරු මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ එහෙම හැසිරෙන්න ඕනද? තිබෙන නීතිය අනුව මැතිවරණය ප්‍රකාශයට පත්කරල තිබෙනවා. මැතිවරණයට අදාල වන පරිදි ඇප මුදල් තැන්පත් කරල තිබෙනවා. නාමයෝජනා කැඳවීම ආරම්භ කරලා තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ නීතියක් සම්පාදනය කරනවා ඒ මැතිවරණයට බලපාන විදිහට. ඒක නිසා මේකේ යටි අරමුණ තියෙන්නේ මේ ඡන්දය කල්දාන්න. ඇයි කල්දාන්න ඕනවෙලා තියෙන්නේ?
මේ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. මේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ 134න් තෝරාගන්නා ලද ජනාධිපතිවරයා. ඔහු මම දැක්ක කියනවා, ජනතාව බාරදීල තියෙනවලු ඔහුට රට හදන්න. ඔහුට ජනතාව රට හදන්න බාරදුන්නේ නැහැ. රට නෙවෙයි පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නෙත් නැහැ. මේ පාර්ලිමේන්තුවටත් ජනවරමක් නැහැ දැන්. පසුගිය ආණ්ඩුව තමන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම දියත් කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියන සාදකය මත. හැබැයි ඔහු ජනතාව එකතුවෙලා අගමැතිකමෙන් පලවා හැරියා. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් මේකටත් ජනවරමක් නැහැ. හැබැයි ඒක දේශපාලන සංකල්පයක්. ඔවුන්ට ජනවරමක් නැති බව තහවුරුවන සහතිකය තමයි පළාත් පාලන මැතිවරණය. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවටත් අවශ්‍යයි තමන්ට ජනවරමක් නැති බව ජනතාවගේ මැතිවරණයක් හරහා ඔප්පුවෙන එක වැලැක්වීම. ඒ වැලැක්වීමේ අරමුණ මේකෙ තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න, විවිධ දවටන ඕන නැහැ. විවිධ ඇටවිළි ඕන නැහැ. අලි සබ්රිගේ, එහෙමනැත්වම් විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාගේ විවිධ සුරංගනා කතා ඕන නැහැ. දේශපාලනය ශිෂ්ඨ සම්පන්න කිරීම පිළිබඳ බොරු සාකච්ඡා ඕන නැහැ. කියන්න ඡන්දෙට බයයි. ඡන්දෙට යන්නේ නැහැ. මේක වලක්වන්න කරන උපක්‍රමයක්. ඒක නෙවෙයි කියන්නේ කවුද? මේක තේරෙන්නේ නැති අය ඒක කියනවා. දැනි අලි සබ්රි කියනවා, විජේදාස රාජපක්ෂ එකක් කියනවා. ඒ පැත්තෙ ඉන්න මන්ත්‍රීවරු කියනවා මේ වෙලාවේ ඡන්දයක් තියන්න බැහැ ඒක නිසා තමයි මේක ගේනනේ කියලා. හරියටම කැන්වසින් පාර ගිහිල්ලා නැහැ. ඉතිං ඡන්දෙ කල්දාන්න තමයි මේක ගේන්නේ.
මම කියන්නම් ගරු මන්ත්‍රී තුමනි, ඡන්දවලදී අපි පරදින්න පුළුවන් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් දේශපාලනයෙන් විසිවෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඡන්ද නොතියපු ඉතිහාසය මොකක්ද? 1982 ජේ.ආර් ජයවර්ධන තමන්ට ලැබුණු කේවල ඡන්ද ක්‍රමය හරහා අත්පත්කරගත්තු හයෙන් පහේ බලය දීර්ඝ කරගැනීමේ වුවමනාවක් තිබුණා. මොකද නව සමානුපාතික ඡන්ද ක්‍රමයක් හඳුන්වා දී තිබුණා. ඔහුට හයෙන් පහේ බලය ලැබෙන්නේ නැහැ. ඒ හයෙන් පහේ බලය 1989 දක්වා රඳවාගැනීම වෙනුවෙන් ඔහු මොකක්ද කළේ? අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මා. ඒ වෙනකොට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඉඳලා, ව්‍යවස්ථාවේ හයවෙනි සංශෝධනයට විරෝධයපාලා පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා තිබුණ. හැබැයි නියමිතපරිදි පාර්ලිමේන්තු මැතිවරණය තිබුණනම් උතුරේ දෙමළ ජනතාවගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට එනවා. එහෙම පාර්ලිමේන්තුවට ආවනම් උතුරේ ජනතාවගේ දුක්ගැනවිල්ල, ඔවුන්ට ආණ්ඩුවට තිබෙන විරෝධය, ඔවුන්ට ආණ්ඩුව පිළිබඳව තිබෙන විවේචනය, මේ පාර්ලිමේන්තුවෙ ඉදිරිපත්වෙනවා. හැබැයි ඔවුන් හයවෙනි සංශෝධනයෙන් එළියට ගියපු එක දිගටම එළියට දැම්මා මේ ජනමත විචාරණය හරහා. එකෙන් සිද්ධවෙච්චි දේ තමයි එල්ටීටීඊ සංවිධානයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරන්න ගර්භාෂයක් නිර්මාණය වුනා. ප්රජාතන්ත්රවාදය තිබුණේ නැහැ. ඊට සමාන්තරව යාපනය පුස්තකාලය ගිනිතියලා, ඒ ජනතවාට තමන්ගෙ සාධාරණ නියෝජිතයන් තෝරාපත්කරගැනීමේ අයිතිය දුන්නේ නැහැ 1981 සංවර්ධන සභා මැතිවරණයේදි.
මේ ප්රජාතන්ත්රවාදය උලංඝණය කිරීමේ ප්‍රතිවිපාක බවට පත්වුනේ මොකක්ද? තිස් අවුරුද්දක යුද්ධයක් නිර්මාණය වුනා. මරාගෙන මැරෙණ බෝම්බකරුවන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ ජනතාවට තමන්ගේ දුක්ගැනවිල්ල, තමන්ගේ තමන්ගේ නියෝජිත ආයතන තුළ ඉදිරිපත්කරන්න අවස්ථාවක් නැත්නම්. මොකක්ද සිදුවිය හැකිවන්නේ? ඔවුන් ඊට වෙනස් ආකාරයේ විකල්ප තෝරනවා. එදා උතුරේ ජනතාවට තිබුණු විකල්පය මොකක්ද? එල්ටීටීඊ සංවිධානය. මේකයි සිද්ධවුනේ. තිස් අවුරුද්දක යුද්ධයක්. දහස් ගණන් මිනිස්සු මියගියා. මේ මහ පොළව ඇති තරම් ලේවලින් තෙත්වුනා. ගංඟා කඳුවලින් ගලාගෙන ගියා. ඒ තරම් ව්‍යසනයක් ඇති කළා මේ මැතිවරණය කල් දැමීමේ ප්‍රතිවිපාක. ඒ වගේම තමයි ඒ වෙලාවේ මැතිවරණය තිබුණනම් ඒ වෙලාවේ තිබුණ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව අපේ පක්ෂයෙත් මන්ත්‍රීවරු ගණනාවක් එදා පාර්ලිමේන්තුව නියෝජනය වෙනවා. එහෙමනම් ගරු මන්ත්‍රීතුමනි 88, 89ක් අපේ රටේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඇති තරම් ලේ වගුරලා, ඇති තරම් කඳුළු ගළලා, අපිට ඔප්පුකරලා තිබෙනවා ජනතාවගේ අයිතිය, ජනතාවට තමන්ගේ විරෝධය, තමන්ගේ හැඟීම මැතිවරණයක් හරහා ප්‍රකාශයට පත්කරගන්න දෙන්නේ නැත්නම් ඇතිවෙන ව්‍යසනය මොකක්ද කියලා. අපිට තිබෙන්නේ මේ බය මන්ත්‍රීතුමණි.
හොඳින් තේරුම්ගන්න. මේ රටේ ජනතාව ඉන්නේ තමන්ට ආහාර නැහැ. තමන්ගෙ අම්ම බෙහෙත් නැතුව ලෙඩ ඇඳේ මියැදෙනවා. තමන්ගෙ රස්සාව අහිමිවෙලා තිබෙනවා. දරුවට කිරිපිටි පැකට් එකක් රගෙන දෙන්න බැහැ. ගැබිණි අම්මට, තමන්ට හරිහමන් ආහාර වේලක් ආරගෙන දෙන්න විදිහක් නැහැ. රස්සාවක් නැහැ. රට දාලයන්න සිද්ධවෙලා තිබෙනවා. ජනතාව විශාල පීඩණයක ඉන්නවා. ඒ පීඩනය අඩුම තරමේ තමුන්නාන්සේලා මැතිවරණයකින් ප්‍රකාශයට පත්කරන්න දෙන්නෙ නැද්ද? ජනතාවට තමන්ගේ පීඩනය කතිරයක් ගහලා ඉදිරිපත්කරන්න අවස්ථාවක් දෙන්නෙ නැද්ද? එහෙම අවස්ථාව ජනතවාට දියයුතුයි. පහුගියදා මට මතකයි ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුව අමතලා කිව්වා, පාරට බහින්න දෙන්නේ නැහැ, හමුදාව දානවා, හදිසි නීතිය දානවා මේ විරෝධතාවයක් ඔක්කොම පාලනය කරනවා කිව්වා. එතකොට ජනතාවට තමන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත්කරන්න පාරට බහින්න දෙන්නෙත් නැහැ. ජනතාවට තමන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත්කරන්න කතිරෙ ගහන්න දෙන්නෙත් නැහැ. මොකක්ද මේ කරන්න හදන්නේ. මම අහනවා මුලසුනේ ඉන්න මන්ත්‍රීතුමා අනුමතකරනවද මේ වගේ වැඩක්? මේක තමන්ගේ බලය, මේ ලොටෝ චන්ස්එකකින් ලැබුණු ජනාධිපති පුටුව රැකගන්න. කවදාවත් මේ රටේ ජනතාව එයා ජනාධිපති පුටුවේ වාඩි කරවන්නේ නැහැ. මේ චන්ස් එකකින් ලැබිච්ච ජනාධිපති පුටුවක් තිබෙනවා. මේක රැකගන්න මේ සටකපට කුමන්ත්රණයේ මෙයා යෙදෙමින් තිබෙනවා. ඒකටම සරිලන අගමැතිවරයෙක් ඉන්නවා. කවදාවත් ඔය තනතුර ලැබෙන්නේ නැහැ ඔවැනි තත්වයක් මේ සමාජයේ තිබුණේ නැත්නම්. හැමදාම ලඟටවෙලා කුටු කුටු ගගා හිටපු සභානායකනේ මෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්නට ඕන මේ තනතුර රැකගන්න. මේ තනතුර රැකගන්න පුළුවන් කම තිබෙන්නේ ජනතාවගේ ජන වරම මනින්නේ නැත්නම්. ජනතාවගේ ජනවරම මැණුන තැන සිට තමන්ගේ තනතුරුවලට ව්‍යවස්ථාවෙන් මොන බලතල තිබුණත් ජනතාව හමුවේ එ බලතල අවලංගුවෙනවා.
රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා හැටියට ව්‍යවස්තාවෙන් බලතල තිබුනට පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ජනතාව හමුවේ තමන්ගේ බලතල අවලංගුයි. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට මොනතරම් බලතල තිබුණත් ජනතාව හමුවේ තමන්ගේ බලතල අවලංගුයි. මෙන්න මේ අවලංගුවීම වලක්වාගන්න ඕනා. ඒ නිසා තමයි මේ ඡන්ද කල් දැමීමේ ක්‍රියාදාමයට තමුන්නාන්සේලා අවතීරණ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේකට ඉඩ දෙන්න එපා. ජනතාවට තමන්ගේ කැමැත්ත ඉතා සාධාරණව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව දෙන්න. මේ මොන ශිෂ්ඨසම්පන්න පාර්ලිමේන්තුවක්ද? මැතිවරණය ප්‍රකාශයට පත්කරලා, නාමයෝජනා කැඳවලා, මැතිවරණයට දිනය නියම කිරීමට තිබියදී නීතියක් සම්පාදනය කරලා ඒකට බැරියර් හදනවා. බැරියර් හදලා ඒකට විශාල ආලවට්ටම් ගොතනවා. යහපාලනය, කළු සල්ලි නතර කරන එක, විනිවධ භාවයකින් යුතුව මන්ත්‍රීවරු හදන එක. ජනතාවට වගකියන මන්ත්‍රීවරු හදන එක. මේ වගේ දේවල් කරනවනේ. ඒක නිසා මා නැවතත් කියන්නේ මේ ව්‍යාජ කරුණු ඉදිරිපත්කරන්නේ. සැබෑ අරමුණ තිබෙන්නේ මේ මැතිවරණය කල් දැමීම. හැබැයි ජනාධිපතිවරයත් අග්රාමාත්යවරයත් තේරුම්ගන්න ඕනාකම තිබෙනවා, ව්‍යවස්ථාවේ බලතල ජනවරමකින් ලැබිල තිබුණා ගොටාබය රාජපක්ෂට. ජනතාවගේ නැගිටීම හරහා දාලයන්න සිද්ධ වුනා. ව්‍යවස්ථාවෙන් බලතල, ජනවරමකින් ලැබිල තිබුණා මහින්ද රාජපක්ෂට අග්‍රමාත්‍යවරයා ලෙස. කැබිනට් මණ්ඩලයට, ජනතාවගේ විශාල නැගිටීම් හරහා මොකක්ද වුනේ? ඒ සියල්ල සුනුවිසුනුවෙලා ගියා. ඒ නිසා රනිල් වික්රමසිහංත් අග්රාමාත්යවරයත් මේ ආණ්ඩුවත් උත්සාහ කරනවානම් ව්‍යවස්ථාවේ වගන්ති ඇතුළෙ, විවිධ සටකපට නීතී ඇති කරලා, ශිෂ්ඨසම්පන්න සම්ප්රදාය මුළුමනින්ම බිඳවට්ටලා, අශිෂ්ඨ පාලකයෙක් හැටියට තමන්ගේ පාලන බලය ධීර්ඝ කරගැනීම සඳහා උත්සාහ කරනවානම් ජනතාවගේ නැගිටීම් හමුවේ ඒවා කරන්න බැරිබව මතක තබාගන්න.
මන්ත්‍රීවරුන්ට පඩි ගෙවන්න බැරිනම් 50%කින් පඩි අඩු කරන්න. අපි එකඟයි. මම හිතන්නේ නැහැ මෙම අර්බුදය නිම වනතෙක් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් අඩු කරන්න. ඉතිං මන්ත්‍රීවරු අඩු කළත් එකයි පඩි අඩු කළත් එකයි. අඩකින් බැරිනම් 75%කින් අඩු කරන්න. ඒත් අපි එකඟයි. අපි කියන්නේ කුමක්ද? ඒ මන්ත්‍රීවරයාට දීමනාවක් ලැබෙනවාද කියන එක නෙවෙයි මෙතෙන සැලකිල්ලට භාජනය කරන්නේ. මෙතෙන සැලකිල්ලට භාජනය කරන්නේ, ජනතාවට තමන්ගේ තියෙන මතය සාධාරණ ලෙස ඡන්ද පත්‍රිකාවක කතිරයක් ගහලා ප්‍රකාශයට පත්කරන්න ඉඩ දේනනේ නැත්නම් ඇතිවියහැකි ව්‍යවසනය, මා දැක්ක ඊයේ පාර්ලිමේන්තු කාරක සභාව අවසන් වූවායින් පසුව හරි සතුටින් විසිර යනවා. මේ වැඩේ දුන්නා. ගේම ගැහුව කියලා. හැබැයි මතක තබාගන්න ගේම්වලින් ඇති කරන දේශපාලනයෙන් කවුරුවත් දිගුකාලයක් රැකෙන්නේ නැහැ. ගේම්වලින් බලයේ ඉන්න හදන ජනාධිපතිවරයා ඉතා ඉක්මනින්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙනවා. ගේම්වලින් බලයේ ඉන්න අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉතාහසයේ කුණු කූඩයට වැටෙනවා. ඒක නිසා ජනතාවත් එක්ක ගේම්ගහලා දේශපාලනය කරන්න ලෑස්තිවෙන්න එපා. ජනතාව අනිවාර්යයෙන් තමුන්නාන්සේලාට ගේම් එකක් ගහනවා.
ඒ නිසා මන්ත්‍රීතුමනි, මේ රට කවර ආකාරයේ ප්රචණ්ඩත්වයකටවත් කවර ආකාරයේ ගැටුම්කාරී තත්වයකටවත් කවර ආකාරයේ නොසන්සුන් තත්වයකටවත් යන එකට එකඟ නැහැ. එහෙම තත්වයක් අපේ රටේ ඇති නොවිය යුතුයි. අපි ඒවගෙන් වද වේදනා විඳපු මිනිස්සු. අපි දන්න සමීපතමයන් මියගියා ඒ කටුක අත්දැකීම්වලින්. නැවත එවැනි තත්වයක් අපේ රටේ නිර්මාණය වියයුතු නැහැ. ඒ නිසා, එවැනි තත්වයක් නිර්මාණය කරන්න උත්සාහ කරන, මේ තරුණ ඇමතිවරු ඉන්නවා තරුණ මන්ත්‍රීවරු ඉන්නවා, තමුන්නාන්සේලාට දිගු අනාගතයක් තිබෙනවා. මේපාර විතරයි සමහර අයට පාර්ලිමේන්තුව තියෙන්නේ. මේ පාර විතරයි සමහර අයට ජනාධිපති පුටුව තියෙන්නේ. ඒ නිසා තමන්ගේ වාරය ආරක්ෂාකරගැනීම වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරු අපේ රටේ අනාගතය බිලිදෙන්න ඕනද? ඒ නිසා මම නියොජ්‍ය අමාත්‍ය තුමාගෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමාලා තීන්දුවක් ගන්න මේ ගැන. මේ කරන අපරාධයට ඉඩදෙන්න එපා. මේ රටේ තරුණ ජීවිතත් එක්ක, මේ රටේ මහජනයත් එක්ක කරන ලේ වැකි සෙල්ලමක් කරන්න මේ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ ලේ වැකි සෙල්ලම සහතික වශයෙන් ගරු මන්ත්‍රීතුමනි පරාජයට පත්කරනවා. ඔහු මොන දහංගැට ගැහුවත් මොන උපක්‍රම හැදුවත් රනිල් වික්‍රමසිංහ මේ ගහන්න හදන සියලු දහංගැට ජනතා බලය හමුවේ පරාජයට පත්කරනවා.”