සහල් තොග සඟවන ගබඩා වටලන්නැයි උපදෙස්

රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන පාලන මිලට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත .

සහල් අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේ දී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.

සහල් සඳහා රජය විසින් පාලන මිලක් නියම කරනු ලැබුවද වෙළෙඳ පොළේ සහල් මිල අඩු වී නැතැයි ඇමතිවරුන් ගණනාවක්ම එහිදී පෙන්වා දී ඇත .

ඒ අනුව ,පාරිභෝගික අධිකාරිය ,අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ආහාර දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගනිමින් මේ සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයා වෙළඳ ඇමැතිවරයාට උපදෙස් දී ඇත .

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබූ අතර, සිනි මිල අඩු වී ඇතත් වෙළෙඳපොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩුවී නැතැයි පාරිභෝගිකයෝ පවසති .

සුදු සහ රතු කැකුළු සඳහා කිලෝවකට රුපියල් 95 ක ද නාඩු කිලෝවකට රුපියල් 98 කට ද, සම්බා කිලෝවකට රුපියල් 103කට ද කීරි සම්බා කිලෝවකට රුපියල් 125 කද උපරිම සිල්ලර මිලක් රජය විසින් ඉකුත් දා පනවනු ලැබීය .

මේ තත්වය හමුවේ සහල් වෙළෙඳපොළ පාලනය සඳහා වහාම මැදිහත් වන්නැයි උපදෙස් දී ඇති ජනාධිපතිවරයා පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් රජයේ මිල ගණන් යටතේ මිලට ගෙන වෙළඳපොළට නිකුත් කරන ලෙස වෙළඳ ඇමතිවරයාට දැනුම් දී ඇත.

මේ අතර, ඔවුන් සතු වී ගබඩාවල වී ⁣තොගද රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගෙන කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට දි සහල් කර පාලන මිලට අලෙවි කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත .

ඒ අනුව, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා, පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ,අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සහ ආහාර කොමසාරිස්වරයා සමග සුම් තාක්ෂණය ඔස්සේ අද විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ,එහිදී ගනු ලැබූ තීන්දු අනුව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා , පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක්හ ද හෙට පොලොන්නරුවේ ගබඩා පරික්ෂා කිරීමට යාමට නියමිතය.

මේ අතර ,පිටකොටුවේ තොග වෙළෙඳසල්වල හදිසි වැටලීමක් කළ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහු ,එහි වැඩි මිලට අලෙවි කිරීමට තිබූ සහල් කිලෝ දාහතර දහසක් රජයේ පාලන මිලට සතොසට පවරා ගත්හ .

කොළඹ දිස්ත්‍රික් ලේකම් පදීප් යසරත්න ,පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පාරිභෝගික අදිකාරියේ කොළඹ දිසාව භාර මෙහෙයුම් නිලධාරී ප්‍රදීප් කළුතර ආරච්චි යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ (අජන්ත කුමාර අගලකඩ)

පුවත යවන්න