2022 අයවැයෙන් රජයේ වියදම් බිලියන 33කින් කපයි

එළැඹෙන 2022 වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කරමින් 2022 අයවැය කතාව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය මෙලෙස ආරම්භ වන අතර, 2022 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වූ අතර, 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2538කට සාපේක්ෂව ලබන වසර සදහා අඩුකර තිබීම මෙවර අයවැයේ විශේෂත්වයයි.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර, බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු වේ. නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 7ක් අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වෙන අතර නොවැම්බර් 22 වැනි සදුදා පස්වරු 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 23 වැනි අඟහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා දින 16ක් එම විවාදය පැවැත්‍ වේ. දෙසැම්බර් 10 දා පස්වරු 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වේ. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබීම මෙවර අයවැයේ තවත් වෙශේෂත්වයක් වන අතර අය වැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවි විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද විකාශය කිරීමට නියමිතයි.

අය වැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද (12) සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තුව සදහන් කරන අතර අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් අය වැය කාරක සභා අවස්ථාවට සහභාගි වීමට අවසර දී තිබෙන අතර අද දිනයේදී ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කිරීමට නියමිතය.

පුවත යවන්න