ජමාල් කෂෝගි ඝාතන චෝදනා මත අමෙරිකානු / සවුදි මිත්‍රත්වය අනතුරේ

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ හිටපු මාධ්‍යවේදියකු වූ ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සවුදියේ ඔටුන්න හිමි කුමරුට කඩිනමින් දඩුවම් ලබාදිය යුතු බව ඝාතනය වූ මාධ්‍යවේදියාගේ පෙම්වතිය වූ හැටිස් සෙන්ගිස් පවසනවා.
අමෙරිකානු බුද්ධි අංශ විසින් සිදුකළ පරීක්ෂණයක් අනුව අනාවරණවී තිබුණේ සවුදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු මෙම ඝාතනය සඳහා අනුබල දී ඇති බවයි.
2018 ඔක්තෝම්බර් 2 වන දිනයේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී මෙම ඝාතනය සිදුකර තිබුණා.
එහිදී ජමාල් කෂෝගි ගාතනය කර සිරුර කුඩා කොටස්වලට වෙන්කර අතුරුදන් කළ බවටයි සවුදි අරාබියට චෝදනා එල්ලවුණේ.
කෙසේ වෙතත් එහි වගකිවයුත්තන් බව පවසමින් කිහිපදෙනකුට මරණ දඩුවම ලබාදීමට සවුදි අරාබිය කටයුතු කළා.
නවතම වාර්තාවෙන් සල්මාන් කුමරුට අමෙරිකාව චෝදනා කිරීමෙන් පසු සවුදි අරාබිය කියා සිටියේ අමෙරිකාව සිය උපායමාර්ගික සහකරුට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවයි.
ඒ අනුව මෙය අමෙරිකානු හා සවුදි අරාබි දැඩි මිත්‍රත්වය පළුදු කරන අවදානමක් බවටද පත්වෙමින් පවතිනවා.

පුවත යවන්න