රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස්, හිල්ටන් විකිණීමට රජයෙන් උපදේශකවරු පත්කරයි

රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස්, හිල්ටන් විකිණීමට අදාලව උපදේශකවරු පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ව්‍යවසාය සතු කොටස් අයිතිය පැවරීම – ගණුදෙනුකාර උපදේශකවරුන් පත්කිරීම

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින්, රජය විසින් පාලනය කරනු ලබන පහත සඳහන් ව්‍යවසායන්හි විකුණුම් පාර්ශවයේ ගණුදෙනු පිළිබඳ උපදේශන සේවා සැපයීම සඳහා උනන්දුවක් දක්වන උපදේශන ආයතන වෙතින් කැමැත්ත  පළ කිරීමේ  නිවේදන (EOI) දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය සහ linkedin යන සමාජ ජාල හරහා 2023 මාර්තු 30 දින පළකරනු ඇත.

  1. සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

  2. සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම

  3. හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)

  4. සී/ස කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ, ග්‍රෑන්ඩ් හයට්)

උනන්දුවක් දක්වන උපදේශන ආයතන විසින්, තම කැමැත්ත පළකිරීම සමඟ යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය (RFP) සඳහා ද ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වේ. ඉහත සඳහන් ව්‍යවසායන් අතරින් එකකට හෝ වැඩි ගණනකට උපදේශන සේවා සැපයීමට, උපදේශන ආයතනයකට නිදහස තිබේ. තම ප්‍රතිචාර 2023 අප්‍රේල් 27 දින ප.ව 4.00ට පෙර බාරදිය යුතුය. ශ්‍රී ලංකා රජයේ උපදේශකයින් ප්‍රසම්පාදනය කර ගැනීමේ ක්‍රියාපටිපාටිය අනුව, ගුණාත්මක සහ වියදම් පාදක කරගත් තේරීම් ක්‍රමය මඟින් මෙම ගණුදෙනුකාර උපදේශකවරුන් තෝරා ගනු ලැබේ.

මීට අමතරව, පහත සඳහන් රාජ්‍ය ව්‍යවසායන් සතු කොටස් අයිතිය පැවරීම සඳහා ගණුදෙනුකාර උපදේශක සේවා සැපයීමට මුදල් අමාත්‍යාංශය දැනට ලෝක බැංකුව සම්බන්ධිත මූල්‍ය ආයතනයක් වන  “ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව”  (IFC) සමඟ ගිවිසීමට, එකඟතාවය ලබා ගැනීමට  කටයුතු කරගෙන යනු ලැබේ.

  1. ශ්‍රී ලංකා ගුවන් සමාගම අනුබද්ධිත ශ්‍රී ලන්කන් කේටරින් සමාගම

  2. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී

  3. ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී

ගණුදෙනුකාර උපදේශකවරුන් විසින්, විකුණුම් පාර්ශවය වෙනුවෙන් නිසි ඇගයීමට හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම, ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගණුදෙණු හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් මෙම රාජ්‍ය ව්‍යවසායන් බැහැර කිරීමට ප්‍රතිව්‍යුහකරණ ඒකකයට සහාය වනු ඇත.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින්, මෙම ගණුදෙනු විනිවිදභාවයකින් යුක්තව, විශ්වාසනීය අයුරින්, සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම සඳහා, කැමැත්ත පළකිරීම් නිවේදන (EOI) හා යෝජනා කැඳවීමේ නිවේදන  ක්‍රියාවලිය (RFP) දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කරනු ඇත. ඉල්ලීමක් නොමැතිව හෝ  ආරාධනයක් නොමැතිව (Unsolicited) ලබා දෙනු ලබන යෝජනා පිළිගනු නොලැබේ.

පුවත යවන්න